විදේශයේ කොටුවූ ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලට සිදුවූයේ කුමක් ද?

migrant

කොරෝනා වසංගතය අතරේ මැදපෙරදිග ඇතුළු විවිධ රටවල තවදුරටත් කොටුවී සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් ගෙන්වා ගැනීම සඳහා මෙතෙක් කිසිදු විධිමත් වැඩපිළිවෙලක් දියත් කර නැති බවට ක්‍රියාකාරීහු චෝදනා නගති.

එසේ අසීරුතාවට ලක්ව සිටින පිරිස් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ තොරතුරු පළවෙමින් තිබේ.

ඇතැමුන්ගේ රැකියා අහිමි කිරීම හේතුවෙන් ඉඳුම් හිටුම් අහිමිවී ඇතිවා පමණක් නොව මුදල් ගැටලු මෙන්ම සෞඛ්‍ය ගැටලුවලට ද බොහෝ දෙනා මුහුණ පා ඇති බව එම තොරතුරුවලින් කියැවේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධානම විදේශ විනිමය ඉපයීමේ මාර්ගයක් වන්නේ විදේශගත ශ්‍රමිකයන් ගේ ප්‍රේෂණයන් ය. 2020 වසරේ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,104 ක් ලෙස ශ්‍රී ලංකා මහබැංකු දත්ත පෙන්නුම් කරයි.

වරෙක 'රට විරුවන්' ලෙස උත්කර්ෂණයට නැංවූ තමන්, කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වීමට පටන්ගෙන වසරක් ඉක්මවී තිබියදී ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමේ නිසි ක්‍රියා පිළිවෙතක් හෝ තමන්ට වෙන්වූ නිරෝධායන මධ්‍යස්ථානයක් හෝ ස්ථාපනය කිරීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇති බවට ඔවුහු චෝදනා නගති.

"විදේශගත ශ්‍රමිකයින් ශ්‍රී ලංකාවට ගෙන්නන්න. අපිත් නිරෝධායන ක්‍රියාවලියට දායක වෙන්නනම් මේක ජාතික වගකීමක් ලෙස සළකා හැබැයි ආණ්ඩුව මොහොතකටවත් ඒක සැලකුවේ නෑ. එම යෝජනාව ගණන් ගත්තේවත් නෑ ආණ්ඩුව. 45000ක් එන්න ඉන්නවා නම් අපි 20000ක් භාරගන්නම් කිව්වා ඒත් ඇත්තටම ආණ්ඩුව වැඩපිළිවෙලක් ඉදිරිපත් කළේ නෑ. ඒගොල්ලෝ කල්පනා කලේ ඒගොල්ලන්ගේ මිත්‍රයින්ට ගුවන් ටිකට් පත් වලින් ගහගන්න, හොරකම් කරන්න ක්‍රමයක් හදන එකයි. හෝටල්වලට ගෙනල්ල මේ මිනිස්සුන්ව නිරෝධායන කරපුවහම එකෙන් ගානක් ඒගොල්ලන්ගේ යහළු මිත්‍රයින්ගේ හෝටල්වලට ගානක් ලැබෙන එකයි," එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හදුන්නෙත්ති බීබීසී සිංහල සේවය සමග පැවසීය.

"ලංකාවේ මිනිස්සු තරම් අසරණ වීමක් වෙන රටවල මිනිස්සුන්ට වෙලා නෑ. මේ පිසිආර් කරලා එන අයව ලක්ෂ ගණනක් ගෙවලා හෝටල් වල තියාගන්නේ ඇයි? ඉන්දියාවේ වත් වෙන කිසිම රටක ඒ රටෙන් එළියේ ඉන්න අයට මේ වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ."

"ලංකාවට එන්න බැරිව මුදල් හොයා ගන්න බැරිව උද්‍යානවල තැන තැන් වල ඉන්න අයව ගෙන්නන්න රජයේ ක්‍රියා මාර්ගයක් අවශ්‍යයි. රජයේ මුදල් වලින්, විදේශ සේවා කාර්යන්ශයේ බිලියන ගණනක් සල්ලි තියෙනවා ඉතිරිවෙලා, අනුගමනය කරපු රක්ෂණ ක්‍රම තියෙනවා. ඒ රක්ෂණ ක්‍රම අනුගමනය කරන්න පුළුවන් මේ වෙලාවේ එම අය ගෙන්නන්න. නැත්තනම් කුවේට් අරමුදල තියෙනවා." ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොරෝනා මෙහෙයුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලා කියා සිටියේ මේ වනවිට 80,000 ට ආසන්න පිරිසක් යළි ගෙන්වාගෙන ඇති බවය.

නිරෝධායන පහසුකම් ප්‍රමාණවත් නොවීමේ තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව එම පිරිස් ගෙන්වා ගැනීම අසීරු වුව ද, එම වැඩපිළිවෙල අවසන් වී නැති බව ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය බීබීසී සිංහල සේවය සමග පැවසූ පරිදි නැවත ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා රටවල් 16 ක සිට මේ වනවිට ඉල්ලුම් කර ඇති පිරිස ආසන්න වශයෙන් 37000 කි.

එහෙත් එම පිරිස ගෙන්වා ගැනීමට නොහැකි වීම සඳහා හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඇති නිරෝධායන පහසුකම් ප්‍රමාණවත් නොවීම ය.

බොහෝ පිරිස් විදේශ රටවල අතරමං වී තිබෙන්නේ ඔවුන්ගේ රැකියා අහිමි වීම හේතුවෙන් බව කී ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූවන් පිළිබඳව තම ආයතනයට වගකීම භාරගත නොහැකි බවය.

මේ අතර නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සඳහා ටෙන්ඩර් කැඳවීමේ බලාපොරොත්තුවක් ඇති බවද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය වැඩිදුරටත් කියා සිටියේය.

සමාජ ක්‍රියාකාරිනියක වන මීනු සෙති, සිය ට්විටර් ගිණුම තුළ ශ්‍රී ලංකාවේ සහ අනෙකුත් රටවල සංක්‍රමණික සේවකයින්ගේ දුක්ඛිත තත්ත්වය ඉස්මතු කරමින් ඔවුන් මැදපෙරදිග රවල ජිවත්වන ආකාරය දැක්වෙන ඡායාරූප හා වීඩියෝ දර්ශන සහිත සටහන් තබා ඇත.

"කොවිඩ්-19 හි භීෂණය ගල්ෆ් රටවල සංක්‍රමණික සේවකයින්ට දිගටම බලපෑම් කරයි. අද දින ඇමතුමක් ලැබුණු අතර, ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ උදව් නොමැතිව පොදු උද්‍යානවල නිදා සිටින පුද්ගලයින්."

https://twitter.com/Meenu_2304?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1364287971936059396%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.bbc.com%2Fsinhala%2Fsri-lanka-56399690

ඇය තවත් වීඩියෝ දර්ශනයක් පළකරමින් පැවසුවේ "සංචාරක වීසා බලපත්‍රයක් මත මෙරටට ගෙන එන ලද ශ්‍රී ලාංකික කාන්තාවගේ තවත් සිද්ධියක්. අවාසනාවට ඇගේ ක්ෂය රෝග පරීක්ෂණය ධනාත්මක වූ අතර ඇයට රැකියා වීසා බලපත්‍රයක් ලබා ගත නොහැක. ඇයගේ නියෝජිතයා විසින් ඇයව ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය ඉදිරිපිට දමා ගොස් ඇත. මෙම සංක්‍රමණික සේවිකාව දෙමළෙන් කියන කතාවට සවන් දෙන්න."

https://twitter.com/Meenu_2304?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1371121111526744069%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.bbc.com%2Fsinhala%2Fsri-lanka-56399690

මෙවැනි චෝදනා සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට පිළිතුරු දුන් විදේශ කටයුතු අමාත්‍යංශයේ කොරෝනා මෙහෙයුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් කාන්දීපන් බාලා කියා සිටියේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය වග නොකියන අතර එය විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසිය යුතු බවය.

මෙසේ කොටුවී සිටින්නේ ශ්‍රී ලංකික පුරවැසියන් වන බැවින් ඔවුන් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය යටතේ ඇති තානාපති කාර්යාලවලට වගකීමක් නොමැතිදැයි ඇසු පැනයට, "මේවා චෝදනා විතරයි." යනුවෙන් ඔහු පිළිතුරු දුණි.

මේ අතර දෙසැම්බර් 05 වෙනි දින කොළඹ දී මාධ්‍ය හමුවක් ඇමතූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු, විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මෙරටට ගෙන්වීමේදී ඔවුන්ගෙන් විශාල වශයෙන් මුදල් ගසාකන මාෆියාවක් ක්‍රියාත්මක වන බවට චෝදනාවක් එල්ල කළේය.

"අද වෙනකොට සම්පූර්ණයෙන්ම අසාධාරණ විදියට මේ විදේශ ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම කියන එක ව්‍යාපාරයක් බවට පත් කරගෙන තියෙනවා කණ්ඩායමක්. දැන් ලක්ෂ දෙකක් ටිකට් එකට දීලා, තව පහලොස් දාහක් විසි දාහක් හොර ඒජන්ට්ලාට දීලා මේකෙ ලැයිස්තුවට නම දාගන්න, මෙහෙට ආවාට පස්සෙ දවසකට දොලොස් දාහක් පහලොස් දාහක් විතර හෝටලේක කාමරේකට දවස ගාණෙ දුන්නාම සාමාන්‍යයෙන් ලක්ෂ හතරක් හතරහමාරක් විතර යනවා එළියට එනකොට," රාජ්‍ය ඇමතිවරයා පැවසීය.

"මේක මහා ජාතික අපරාධයක්. මේක මේ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලට සම්පූර්ණයෙන්ම විරුද්ධව කරන වැඩසටහනක්. ජනාධිපතිතුමා මේක නෙවෙයි කිව්වෙ. මේක මාෆියාවක්!" ඔහු එවර කීය.

ශ්‍රී ලාංකිකයන් යළි සිය රට බලා පැමිණෙන විට ඔවුන් නොමිලේ නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කළ යුතු බවට හෝ නොඑසේනම් නිවසේ සිට නිරෝධායනය සඳහා යොමු කළ යුතු බවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙයට පෙර යෝජනා කළ ද ආණ්ඩුව එම යෝජනාව ක්‍රියාවට නගන්නේ කවදා දැයි පැහැදිලි නැත.

එසේ තිබියදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පසුගිය සතියේ ඩුබායි රාජ්‍යයේ සංචාරයක් සඳහා පිටත්ව ගිය අවස්ථාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය නිරෝධායන නීති සංශෝධනය කළේ ශ්‍රී ලංකාවේ ජිවත්වන පුද්ගලයින් ව්‍යාපාරික හෝ නිල සංචාර සඳහා ජෛව බුබුල (Bio Bubble) අනුගමනය කරමින් හා එන්නත් ලබාගෙන සංචාර නිමවා ලංකාවට නැවත පැමිණීමේදී දින 14ක හෝටල් නිරෝධායනය අනිවාර්ය නොවන බවට දක්වමිනි.

මේ පිළිබඳව සමාජ මධ්‍ය ඔස්සේ විවේචන එල්ලවන්නට ද විය. ඒ අතරින්, අනෝමා ද අල්විස් පැවසුවේ "විදේශීය සංචාරයක නියැලී යළි ශ්‍රී ලංකාවට පැමිණි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට සහ එතුමගෙ පිරිවරට තම පෞද්ගලික නිවසේ සිට නිරෝධායනය වීම සඳහා සෞඛ්‍යය බලධාරින්ගෙන් අවසර ලැබුණි. අපේ‍්‍රල් 17 න් පසු නැවත පැමිණීමට අපේක්‍ෂා කරන මගේ ඥාති දියණියට ටිකට් පතක් වෙන්කරවා ගත නොහැක." යනුවෙනි.

https://twitter.com/AnomadeA?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1371082696923914246%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.bbc.com%2Fsinhala%2Fsri-lanka-56399690

ඊට ප්‍රතිචාර දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා ද ට්විටර් සටහනක් එක්කර තිබිණි.

"ඔබගේ මානසිකත්වය මාහට තේරුම් ගත හැකියි. මා මේ වනවිට නිරෝධායනය වී සිටින්නේ මාගේ නිවසේ නෙවෙයි. මටත් බිරිඳක් මාස 6ක දරුවෙක් සිටින බැවින් නිවසට යෑමට අවස්ථාව ලැබුණු ද එය මා භාර ගැනීමට සුදානම් නැත. කෙසේවෙතත් මේ වනවිට මෙරටට පැමිණෙන විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම එන්නත්කරණයට ලක්වු ශ්‍රී ලාංකිකයින් හා සෙසු ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන නිරෝධායන නීති සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර ලිහිල් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා," යනුවෙන් ද අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

https://twitter.com/AnomadeA?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1371082696923914246%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.bbc.com%2Fsinhala%2Fsri-lanka-56399690

කෝවිඩ් මර්දනය සම්බන්ධ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී හමුදාපති, ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය දා මාධ්‍ය හමුවේ පැවසුවේ විදේශගතව සිට ආපසු පැමිණෙන පුද්ගලයින් සම්බන්ධ නිරෝධායන රෙගුලාසි ඉතා ඉක්මණින් ලිහිල් කරන බවය. එහෙත් මේ වනතෙක් ම එම ර්ගුලාසි වෙනස්වී ඇති බවක් වාර්තා වී නැත.

(bbc/sandeshaya)