විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල ඉඩම් ආරවුල්, මුල්‍ය ආරවුල් විසදීමට විශේෂ සමථ මණ්ඩලයක්

විදේශගත ශ්‍රමිකයින්ගේ පවුල්වල ඉඩම් ආරවුල්, මුල්‍ය ආරවුල් විසදීමට විශේෂ සමථ මණ්ඩලයක්

සමථ මණ්ඩල ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කර එම ක්‍රියාවලියට ප්‍රතිසංස්කරණ හදුන්වාදීම යටතේ  දැනට ක්‍රියාත්මක වන සුළු ආරවුල් විසදීමේ සමථ මණ්ඩලවලට අමතරව ඉඩම් ආරවුල් විසදීමේ විශේෂ සමථ මණ්ඩලයන්, මුල්‍ය ආරවුල් විසදීමේ විශේෂ සමථ මණ්ඩලයන්, විදේශ ගත ශ්‍රමිකයින්ගේ පවුල්වල ගැටළු සදහා හදුනාගත් ප්‍රදේශවල සමථ මණ්ඩලයන් හා පළාත් පාලන ආයතනවලට පවතින ගැටළු විසදීමට විශේෂ සමථ මණ්ඩලයන් පිහිටුවීම සදහා ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබේ.

මේ තුළින් මහෙස්ත්‍රාත් අධිකරණවලට එන නඩු සංඛ්‍යාව අවම කිරීමටත් නීතිමය ගාස්තුවලින් තොරව කඩිනමින් සුළු ආරවුල් සමථයකට පත් කිරීමටත් අපේක්ෂා කරනු ලබන අතර එකී ඉලක්කයන් සපුරා ගැනීමේදී සමථ මණ්ඩල මසකට දින 06 ක් රැස්වීමට නියමිතයි.

අගතියට පත් පාර්ශ්වයන්ට සිය දුක් ගැනවිලි අඩු වියදමකින් කඩිනම් ලෙස සහ මිත්‍රශීලී වටපිටාවක් තුළ දී සමථ මණ්ඩල හරහා විසදා ගැනීමට මෙම විශේෂ සමථ මණ්ඩල පිහිටුවීමෙන් හැකියාව තිබේ.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ අධිකරණ අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යයන් අතර සමථකරණය සදහා සුවිශේෂී ප්‍රමුඛතාවයක් ලබාදී ඇති අතර ඒ යටතේ සමථකරණ ක්‍රියාවලිය සදහා ද සුවිශේෂී ප්‍රතිසංස්කරණ හදුන්වා දීමට අධිකරණ අමාත්‍යතුමාගේ උපදෙස් පරිදි අමාත්‍යාංශය කටයුතු යොදා ඇත.