ඊශ්‍රායල-පලස්තීන ගැටුම හා මැදපෙරදිග උණුසුම් වෙයි

ඊශ්‍රායල-පලස්තීන ගැටුම හා මැදපෙරදිග උණුසුම් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදය ජෙරුසෙලමේ සිය නව තානාපති කාර්යාලය විවෘත කිරීමත් සමග ගාසා තීරයේ උණුසුම ඉහළ යමින් පවතී.

ගාසා තීරයේ දේශසීමාවේදී ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරවලින් පලස්තීන ජාතිකයන් 41 දෙනෙකුවත් මරුමුවට පත් වූ බව පලස්තීන බලධාරීහු පවසති.

එහිදී තවත් පලස්තීන වැසියන් 1800 දෙනෙකුටවත් තුවාල සිදු වූ බව ද ඔවුහු පවසති.

මේ අතර ජෙරුසලමේ සිය තානාපති කාර්යාලය විවෘත කිරීමේ තීරණය ගැන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ප්‍රසාදය පළකරමින් නිවේදනයක් නිකුත් කරන ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ, ගාසා තීරයේ ප්‍රචණ්ඩ ගැටුම් පිළිබඳ කිසිවක් පැවසීමෙන් වැලකී තිබුණි.

තානාපති කාර්යාලය විවෘත කිරීම සැමරීම් වස් ට්විටර් පණිවුඩ දෙකක්ම නිකුත් කළ ජනාධිපති ට්‍රම්ප් ද ගාසා තීරයේ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කිසිවක් සඳහන් කොට නැත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දියණිය සහ ඇයගේ ස්වාමිපුරුෂයා ඇතුලු එක්සත් ජනපදයේ ඉහළ පෙළේ නිලධාරීහු තානාපති කාර්යාලය විවෘත කිරීමේ උත්සවය සඳහා ජෙරුසලමට පැමිණ සිටියහ.

උත්සවයට සහභාගි වූ ඔහුගේ බෑණා වන ජෙයාර්ඩ් කුෂ්නර් උද්ඝෝෂණ ගැන කෙටි සඳහනක් කරමින් කියා සිටියේ උද්ඝෝෂකයන් "ප්‍රශ්නයේ කොටසක් විනා විසඳුම නොවන" බවය.

ජෙරුසලමේ විවෘත කිරීමට නියමිත නව ඇමරිකානු තානාපති කාර්යාලය ගැන ඊශ්‍රායලය සිය සතුට පළ කළ ද එය පලස්තීන ජාතිකයන්ගේ දැඩි විවේචනයට හේතු වී ඇත.

ඇමෙරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීම ගැන දැඩි විරෝධය පළ කරන පලස්තීන වැසියන් එය දකින්නේ ජෙරුසෙලමේ පාලනය අරභයා ඊශ්‍රායලයට සහය දැක්වීමක් හැටියටය.

නැගෙනහිර ජෙරුසෙලම තමන්ට අයත් භූමිභාගයක් බව පලස්තීන වැසියෝ විශ්වාස කරති.

සඳුදා ඝාතනයට ලක් වූ පිරිස අතර දරුවන් ද සිටින බව හමාස් සංවිධානයේ පාලනයට යටත් ප්‍රදේශයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පලස්තීන උද්ඝෝෂකයන් ගල්මුල්වලින් සහ ගිනි බෝම්බවලින් දමා ගැසූ අතර, ගිනිගෙන දැවෙන ටයර්වලින් කළු දුමාරයක් නැගෙද්දී ඊශ්‍රායල හමුදාව උද්ඝෝෂකයන්ට එරෙහිව තුවක්කුරුවන් යොදවා තිබිණ.

පලස්තීන ජාතිකයන් 35,000 ක් පමණ ආරක්ෂක වැට ඔස්සේ "ප්‍රචණ්ඩ කැරලිවල" නිරතව සිටින බව පවසන ඊශ්‍රායල හමුදාව වැඩිදුරටත් කියා සිටියේ, සිය හමුදාව "සම්මත පටිපාටියට අනුකූලව" ක්‍රියා කරමින් සිටින බවය.

ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස ඇමරිකාව පිළිගැනීම පිළිබඳ පලස්තීනයෙන් දැඩි විරෝධතා එල්ල වෙමින් පවතී. පලස්තීනය ජෙරුසලමේ නැගෙනහිර කොටසට අයිතිය ප්‍රකාශ කර සිටියත් ඊශ්‍රායලය පවසන්නේ කිසි දිනෙක එම නගරය දෙකඩ නොකරන බවය.

ගාසා තීරයේ මායිම් පසු කිරීමේ අරමුණ සහිතව එහි ඉස්ලාම් ආගමික පාලකයන් වන 'හමාස්' සංවිධානය මූලික වී සංවිධානය කරන ලද මහා පා ගමන සති හයක කාලයක් පුරා පැවැත්වේ.

ඇමරිකානු තානාපති කාර්යාලය විවෘත කිරීම මෙතරම් මතභේදකාරී ඇයි?

ජෙරුසලම පිළිබඳ මතභේදය ඊශ්‍රායල පලස්තීන ගැටුමේ ආරම්භය දක්වා දිවයන්නකි.

ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ස්වෛරීත්වය ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් නොවුනකි. 1993 දී ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ඇති වූ සාම සාකච්ඡාවල අවසාන අදියරේ දී ජෙරුසලම පිළිබඳ තීරණය කිරීමට නියමිතව තිබිණි.

ජෝර්දානය අත්පත් කර ගෙන සිටි නැගෙනහිර ජෙරුසලම ඊශ්‍රායලය විසින් අත්පත් කර ගනු ලැබුවේ 1967 වසරේ මැදපෙරදිග යුද්ධයෙන් පසුවය.

කෙසේවුවද, 2017 වර්ෂයේ දෙසැම්බර් මස ජනාධිපති ට්‍රම්ප් ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා තෙක් ජෙරුසලම සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ආධිපත්‍යය ජාත්‍යන්තරය පිළිගනු ලැබුවේ නැත.

විශේෂයෙන් නැගෙනහිර ජෙරුසලම තුළ යුදෙව්, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආගමික ප්‍රජාවන් විසින් පූජනීයත්වයේ ලා සලකනු ලබන ප්‍රධාන ආගමික සිද්ධස්තාන කිහිපයක් පිහිටා තිබේ. 1967 වර්ෂයේ සිට මේ දක්වා ඊශ්‍රායලය ජෙරුසලම නගරය තුළ තවත් විශාල ගොඩනැගිලි ප්‍රමාණයක් සාදා තිබෙන අතර, මෙහි ලක්ෂ දෙකකට ආසන්න යුදෙව්වන් පිරිසක් වාසය කරති.

අන්තර්ජාතික නීතියට අනුව එය නීති විරෝධී ලෙස සැලකුව ද, ඊශ්‍රායලය එයට එකඟ නොවෙයි.

මින් පෙර රටවල් කීපයක තානාපති කාර්යාල ජෙරුසලමේ පිහිටා තිබිණි. නමුත් ඊශ්‍රායලය 1980 දී ජෙරුසලම සිය අගනුවර ලෙස නීතියක් සම්මත කිරීමත් සමග, බොහෝ රටවල් එම තනාපති කාර්යාල ඉවත් කර ගත්තේය.

ජනාධිපති ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමත් සමග මෙතෙක් කල් මෙම තත්වය සම්බන්ධයෙන් ඇමරිකාව දැරූ මධ්‍යම ප්‍රතිපත්තිය බිඳ වැටුණු අතර, ජාත්‍යන්තර වශයෙන් මහත් අර්බුදකාරී තත්වයක් නිර්මාණය වී ඇත.

ජෙරුසලමේ ඇමරිකානු තානාපති කාර්යාලය

ජෙරුසලමේ දැනට පිහිටා තිබෙන ඇමරිකාවට අයත් ගොඩනැගිල්ලක් තුළ කුඩා තානාපති කාර්යාලයක් සඳුදා (මැයි 14) දින විවෘත කරන ලදි.

කෙසේ වෙතත්, 'ටෙල් අවීව්' නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය වසර කීපයකින් ජෙරුසලම වෙත ගෙන යමින් තානාපති කාර්යාලය පුළුල් කිරීම සඳහා ඇමරිකානු ජනාධිපතිවරයාගේ අනුමැතිය ලැබෙනු ඇතැයි බලාපොරොත්තු පළ වේ.

මේ වනතෙක් සියලු රටවල් සිය තානාපති කාර්යාල පවත්වාගෙන යනු ලබන්නේ ටෙල්අවීව් නුවර තුළය.

ඊශ්‍රායලයේ හැත්තෑ වෙනි සංවත්සරය දින මෙම තානාපති කාර්යාලය විවෘත කිරීම යොදාගෙන තිබීම ද විශේෂත්වයකි.

ජෙරුසලම සම්බන්ධයෙන් ඇමරිකාවේ ප්‍රතිපත්තිය යුරෝපා රටවල දැඩි දෝෂාරෝපණයට ලක් වී තිබේ.

මූලාශ්‍රය -BBC සිංහල පුවත්