ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට විශේෂ උපදෙස් මාලාවක්

ඊශ්‍රායලයේ සිටින ලාංකිකයින්ට විශේෂ උපදෙස් මාලාවක්

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ටෙල්අවිව් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ, කලාපයේ ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන බවය. 

තමන්ට ද අදාළ උපදෙස් මාලාව ලැබුණු බව ගාසා තීරයට කිලෝමීටර් 40ක් පමණ ආසන්නයේ පිහිටි බේෂීබා නගරයේ සේවය කරන නලින් ලියනගේ මහතා 'අද දෙරණ'ට ප්‍රකාශ කළේය.

මැද පෙරදිග කළාපයේ මෑතකදී සිදුවූ දරුණුම ගැටුම් මේ වනවිට ඊශ්‍රායලය සහ පලස්තීනය අතර සිදුවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය අද (15) වාර්තා කරයි .

දින 6ක් තුළ ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 140කට අධිකය. 

පලස්තීන සටන්කරුවන් ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාර එල්ල කරද්දී ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර තවත් දැඩිකර තිබේ.

මෙම ගැටුම් ආරම්භ වූයේ මුස්ලිම් සහ යුදෙව්වන් අයිතිය කියන නැගෙනහිර ජෙරුසලමේ පිහිටි ශූද්ධ භූමියක් කේන්ද්‍ර කරගනිමිනි.

අදාළ ප්‍රදේශයෙන් වහාම ඉවත්ව යන ලෙසට ගාසා තීරය පාලනය නතුකරගෙන සිටින ඉස්ලාමීය සන්නද්ධ කණ්ඩායම් යුදෙව්වන්ට පසුගියදා බලකර සිටියේ ඊශ්‍රායලය දෙසට සිය පළමු දැවැන්ත ප්‍රහාරය එල්ල කරමිනි.

එහිදී ඊශ්‍රායලයට එල්ල වූ රොකට් ප්‍රහාර ගණන 150 කට අධිකය. 

පසුව ඊශ්‍රායලය සාමාන්‍ය වැසියන් පවා රැඳීසිටින ගාසා තීරයට දරුණු ප්‍රහාර එල්ල කරනු ලැබීය. 

ඊශ්‍රායලය පවසන්නේ, හමාස් සහ සෙසු පලස්තීන සටන් කණ්ඩායම් තම රටට මේ වනවිට රොකට් ප්‍රහාර 1,500 වැඩි ප්‍රමාණයක් එල්ල කර ඇති බවය.

එහෙත් එම රොකට්වලින් බහුතරයක් 'අයන් ඩෝම්' ලෙස හඳුන්වන ඊශ්‍රායල ආරක්ෂණ ආවරණය විසින් අතරමගදී බිඳ හෙලීමට සමත්ව තිබුණි. 

රොකට් ප්‍රහාර ගුවනේදී විනාශ කර දැමීමේ 90% ක පමණ සාර්ථකත්වයක් 'අයන් ඩෝම්' පද්ධතිය සතුවීම විශේෂත්වයකි.

මේ වන විට ගැටුම්වලින් පලස්තීනුවන් 133 ක් සහ ඊශ්‍රායල් ජාතිකයින් 8 දෙනකු මියගොස් තිබේ.

මූලාශ්‍රය -අද දෙරණ