කාබුල්නුවර සිරවූ ලාංකිකයන් ගෙන්වන්න සූදානම් 

කාබුල්නුවර සිරවූ ලාංකිකයන් ගෙන්වන්න සූදානම් 
යුද ගැටුම් පවතින ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර රැදී සිටින සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
 
මේවන විට ශ්‍රී ලාංකිකයන් 43 දෙනකු කාබුල් නුවර එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන හා තානාපති කාර්යාලවල සේවය කරන බවට ලියාපදිංචි වී ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි. 
 
ඔවුන්ගෙන් වැඩි දෙනකු දිවයිනට පැමිණිම සඳහා ගුවන් ප්‍රවේශපත්‍ර වෙන්කරගෙන ඇති බව අප කළ විමසුමකදී ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය. 
 
ඔවුන් එරට පවතින ගුවන් පහසුකම්වලට අනුව, ඔවුන් දිවයිනට පැමිණෙනු ඇතැයිද එම අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
 
වසර 20 කට අධික කාලයක් පුරා ඇෆ්ගනිස්ථානයේ යුද මෙහෙයුම් ක්‍රියාත්මක කළ ඇමෙරිකානු හමුදාව ප්‍රමුඛ බටහිර හමුදා එරටින් ඉවත් වීමත් සමග තලේබාන් සටන්කාමීන් එරට බලය අත්පත් කරගැනීම සඳහා පසුගිය දින කිහිපයේදී ප්‍රහාර දැඩි කළේ ය.
 
ඒ අනුව තලෙබාන් සටන්කාමීන්  කාබුල් අගනුවරට ඇතුළු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර මේ වනවිටත් එරට සෙසු ප්‍රධාන නගර රැසක බලය තලෙබාන් සටන්කාමීන් අත්පත්කරගෙන සිටිති.
 
පවතින තත්ත්වය හමුවේ, කාබුල් නුවර සිටින විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ආරක්ෂිතව ඉවත් කරගැනීම සඳහා ඇමෙරිකාව හමුදා භට පිරිස් ඇෆ්ගනිස්ථානය වෙත යවා තිබේ.