අගමැති ඉතාලියේ වෙසෙන ලාංකිකයින් හමුවෙයි

අගමැති ඉතාලියේ වෙසෙන ලාංකිකයින් හමුවෙයි

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික ජනතාව හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද (14) බොලොඤ්ඤාහිදී පැවැත්විණ.

මෙම හමුව පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නවාතැන්ගෙන සිටින බොලොඤ්ඤා හෝටලයේදීයි.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය හමුවේ වුවද ඉතාලියේ සංචාරය කරමින් එරට ජනතාව හමුවීම ගැන ඔවුහු අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පුද කළහ.

මෙහිදි ඉතාලියේ වෙසෙන මෙරට ජනතාව පැවසුවේ, මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපති කාල සීමාවේදී ඉතාලිය සමග ඇති කරගත් ද්විපාර්ශවික සබඳතා හේතුවෙන් ඔවුන් හට තවමත් පහසුකම් ලැබෙන බවයි.

ඒ කාල සීමාවේ මිලාන් නගරයේ පිහිටුවූ මෙරට කොන්සල් ජනරාල් කාර්යාලයෙන් ලාංකිකයින් රැසකගේ ගැටලු නිරාකරණය කරගැනීමට හැකිවී තිබේ.

වසර 20 සේවා කාලය නිමා කළ පසු ඉතාලි රජයෙන් ශ්‍රි ලාංකිකයන්ට හිමිවන විශ්‍රාම වැටුප ලංකාවට පැමිණි පසුත් ලබාගැනීමේ හැකියාව සලසා දෙන්නැයි, ඔවුන් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළේ ය.

ඒ සම්බන්ධයෙන් ඉතාලි රජය සමග සාකච්ජා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා සංචාරයට එක්ව සිටින අමාත්‍ය ජී.එල්. පිරිස් මහතාට උපදෙස් ලබාදුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

ජී-20 අන්තර් ආගමික සංසදයට එක්වීමට ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යතුමා ඉදිරි දින කිහිපයේදී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද එක්වීමට නියමිතයි.