විදේශගත ශ්‍රමිකයින්ට මහ බැංකු අධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

විදේශගත ශ්‍රමිකයින්ට මහ බැංකු අධිපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්

විධිමත් මුල්‍ය පද්ධතියෙන් පරිබාහිරව අවිධිමත් ක්‍රම හරහා විදේශ විනිමය මෙරටට ප්‍රේෂණය කරනු ලබන සහ එසේ මුදල් බෙදාහරිනා පුද්ගලයින්ට අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කරන්නේ එවැනි කටයුතුවල නිරත වන අයගේ බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගන්නා බවයි.

මේ අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සියලුම සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ තම ඉපැයීම් නැවත ගෙන්වා ගැනීමට නීත්‍යානුකූල මාර්ග පමණක් භාවිතා කරන ලෙසයි.

අවිධිමත් අරමුදල් හුවමාරු කිරීමේ මාර්ග සීමා කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පියවර ගනිමින් සිටින අතර, එමඟින් සංක්‍රමණික සේවකයින් වෙහෙස මහන්සි වී උපයාගත් විදේශ විනිමය විධිමත් මාර්ග ඔස්සේ තම යැපෙන්නන් වෙත ප්‍රේෂණය කිරීම තවදුරටත් දිරිමත් වනු ඇතැ යි මහ බැංකුව නිවේදනය කළේ ය.

නීතිවිරෝධී විදේශීය මුදල් මාරුකිරීම් සඳහා භාවිතා කරන ගිණුම් අත්හිටුවීමේ තර්ජනය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වූ ඩබ්ලිව්. ඒ. විජේවර්ධන සඳහන් කළේ පළමුව මෙය 1977ට පෙර පැවති මිල අධික බහු විනිමය හුවමාරු භාවිතයන් වෙත ආපසු යාමක් බවයි. එවැනි මුදල් එවීම් අනාවරණය කළ නොහැකි බැවින්, මෙවැනි තර්ජන බලාත්මක කිරීමට අපහසු පියවරක් වනු ඇතැ යි ද හිටපු නියෝජ්‍ය අධිපතිවරයා සඳහන් කළේය.