ලොවම හැඬවූ ප්‍රියන්තගේ ඝාතනයේ ඇත්ත කතාව

ලොවම හැඬවූ ප්‍රියන්තගේ ඝාතනයේ ඇත්ත කතාව
 

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ සියල්කෝට්හිදී ශ්‍රී ලාංකිකයෙකු කෲර ලෙස ඝාතනය කිරීමේ සිදුවීම මේ වනවිට ලොව පුරා ශිෂ්ඨ සම්පන්න ජාතීන්ගේ දැඩි කනස්සල්ලට හේතු වී තිබෙනවා.

ශ්‍රී ලාංකිකයා ඝාතනයකර ඇත්තේ "දෙවියන්ට අපහාස කළේයැ"යි පවසමින්.

සියල්කෝට්හි දී ඔහු වධහිංසාවට පමුණුවා මරා දැමීමෙන් පසු, ඔහුගේ සිරුරට ගිනි තබන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දර්ශනවල දැක්වුණා..

සිද්ධිය සම්බන්ධයෙන් පන්ජාබ් පොලිස් අත්අඩංගුවට ගත් ෆර්හාන් ඉඩ්රීස් සහ උස්මාන් රෂීඩ් යන දෙදෙනා ශ්‍රී ලාංකිකයාට වධහිංසා පමුණුවන අයුරු, සහ අනෙක් අය ඊට උසිගන්වන අයුරු වීඩියෝවේ දැකිය හැකියි.

එමෙන්ම සිරුරට ගිනි තැබීමෙන් පසු එහි රැස්ව සිටින පිරිස කුරානයේ පාඨ උස් හඬින් ප්‍රකාශ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන්ට අමතරව පුද්ගලයන් 100කට වැඩි පිරිසක් අත්අඩංගුවේ රඳවාගෙන ඇති අතර, CCTV දර්ශන මඟින් ඔවුන්ගේ භූමිකාව තීරණය කරන බව එරට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් ක්‍රියාත්මකයි.

ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකිකයා ප්‍රියන්ත කුමාර දියවඩනගේ ලෙස හඳුනාගෙන තිබෙනවා. ඔහු සියල්කෝට්හි වසිරාබාද් පාරේ පිහිටි රාජ්කෝ ඉන්ඩස්ට්‍රීස් නම් පෞද්ගලික ආයතනයක සාමාන්‍යධිකාරීවරයෙක්.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, "සියල්කෝට්හි කර්මාන්තශාලාවක දී නීතිය අතට ගත් කණ්ඩායමක් එල්ල කළ කෲරතර ප්‍රහාරය සහ ශ්‍රී ලාංකික කළමනාකරුවෙකු පණපිටින් පුළුස්සා දැමීම පාකිස්ථානයට ලැජ්ජාසහගත දිනයක්" බව යි. තමා මෙම විමර්ශනය අධීක්ෂණය කරනබවත්, වගකිව යුත්තන් සියලුදෙනාටම උපරිම දඬුවම් ලබාදීම අනිවාර්යයෙන්ම සිදුකරන බවත්, අත්අඩංගුවටගැනීම් දිගටම ක්‍රියාත්මක බවත් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන්.

පාකිස්තාන හමුදා ප්‍රධානී ජෙනරාල් කමර් ජාවෙඩ් බජ්වා ද මෙම සිදුවීම දැඩි ලෙස හෙළා දැක තිබුණා. එය "ලැජ්ජාසහගත සිදුවීමක්" ලෙස හඳුන්වන ඔහු, අධිකරණ ක්‍රියාමාර්ගවලින් බැහැර එවැනි ක්‍රියා කිසිසේත්ම පිළිගත නොහැකි බව ද පවසනවා.

කර්මාන්ත ශාලාවේ සේවකයෙක් යැයි විශ්වාස කළ හැකි මුහම්මද් බෂීර් උපුටා දක්වමින් බීබීසී සිංහල සේවය වාර්තා කර තිබුණේ , ප්‍රියන්ත කුමාර දෙවියන්ට අපහාසයක් කර ඇති බවට කර්මාන්තශාලාව තුළ කටකතා පැතිර ගොස් ඇතිබව යි.

"මේ කටකතාව කම්හල ඇතුලේ ඉක්මණින්ම පැතිරිලා ගියා. ඊට පස්සේ කර්මාන්තශාලා සේවකයන් විශාල පිරිසක් එළියට ගිහින් මුලින්ම විරෝධය පළ කළා," ඔහු බීබීසී සිංහල සේවයට පවසා තිබුණා.

අනතුරුව කර්මාන්තශාලාවට ඇතුළු වූ විශාල පිරිසක් ප්‍රියන්ත කුමාරට වධහිංසා පමුණුවා මරා දමා ඇති අතර, විරෝධතාව අතරතුර ඔහුගේ සිරුරට ගිනි තබා තිබෙනවා.

සිද්ධිය දුටු තවත් පුද්ගලයෙක් පවසා තිබුණේ  බොහෝ වේලාවක් පැවති කර්මාන්තශාලා සේවකයින්ගේ විරෝධතාවට අවට ප්‍රදේශවල ජනතාව ද විශාල වශයෙන් එක්වූ බවයි.

කෘෘර ලෙස ඝාතනය කෙරුණු ප්‍රියන්ත කුමාර දියවඩනගේ ගම්පහ, ගනේමුල්ල, වැලිපිහිල්ල හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ උපාධිධරයෙකු වන ඔහුට වයස අවුරුදු 14ක සහ 9ක පුතුන් දෙදෙනෙක් සිට්නවා.

මේ අතර ඔහුගේ පවුලේ අය ඉල්ලාසිටින්නේ ඔවුන්ට යුක්තිය ඉෂ්ට කර දෙන ලෙසයි.

''මගේ මහත්තයා හරිම අහිංසක කෙනෙක්. පිටරට මෙච්චර සේවය කරලා මිලේච්ඡ විදියට ඝාතනය කරන බව මම නිවුස් වලින් දැක්කේ," ඉංජිනේරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ ගේ බිරිඳ නිරෝෂි දසනායක මාධ්‍ය හමුවේ පැවසුවා.

"මම ශ්‍රී ලංකා රජයේ ජනාධිපතිතුමාගෙන් ද පකිස්ථාන රජයේ ජනාධිපති සහ අගමැතිතුමාගෙන් ද මේ සඳහා සාධාරණ පරීක්ෂණයක් කර මගේ මහත්තයාට සහ දරු දෙදෙනාටත් යුක්තිය ඉෂ්ට කර දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.'' 

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ මහත් සංවේගයට පත්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පැවසුවේ එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක් බවයි.

මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටින බව ද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා.

ජනාධිපතිවරයා පාකිස්තාන රජයෙන් ඉල්ලා සිටියේ, පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙසයි."කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකූල කරන බවත්,  එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකයම එකම අරමුණක සිට ක්‍රියා කළ යුතු බවත් මෙවැනි සිදුවීම් තුළින් තව තවත් තහවුරු වන" බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කළ විශේෂ නිවේදනයෙන් අවධාරණය කර තිබුණා.

මේ අතර පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන  ප්‍රියන්ත කුමාර මහතා ම්ලේච්ඡ ලෙස  ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සියලු අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බවට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට  සහතික වී තිබෙනවා 

ජනාධිපතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබා දුන් පාකිස්තාන අග්‍රමාත්‍යවරයා  දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය සහ විශ්වාසය කිසිවිටෙක පළුදුවීමට ඉඩ නොතබන බව පැවසුවේ යැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.

අපරාධකරුවන්ට දෙවියන් වහන්සේගෙන් සමාවක් නැති අතර නීතියෙන් ද ඔවුන්ට කිසිදු සමාවක් හිමි නොවන බවත්, සාධාරණය ඉටුකර, වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබා දෙනු ඇති බවට ශ්‍රී ලංකා රජය සහ ජනතාව තබා ඇති විශ්වාසය උපරිමයෙන් තහවුරු කරන බවත් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.

මේ ඝාතනය සිදු වන්නේ පකිස්තානයේ පවතින blasphemy නීති යටතේයි. ආගමික විශ්වාසයන් හට අගෞරව කරන්නෙකුට ලබා දෙන දඬුවම් සම්බන්ධව මෙම නීති ඔස්සේ කියවෙනවා.

බ්‍රිතාන්‍යයන්ගේ පාලන කාලයේ සිට මෙම නීති, වසර 5 හෝ 3 වැනි සිර දඬුවම් ලබා දෙමින් පවත්වාගෙන ආ පකිස්තානය, 1980 දශකය තුල දී සිය ආගමික ශාස්තෲ වරයා හට අගෞරව කරන්නන් හට මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් හිමි විය යුතු බවට, සංශෝධනය කළා.

මේ ක්‍රියාත්මක වෙන්නේ එම නීතිය නෙමෙයි. එහි කැලෑ නීතිය. 

අන්තර්ජාතික මාධ්‍යයන්ට අනුව, පකිස්තානය තුල පෞද්ගලික පලිගැනීම් වලට පවා බහුල වශයෙන් මෙම නීති පාවිච්චි වෙනවා. පොලීසිය විසින්, දේශපාලකයන් විසින්, ප්‍රාදේශීය නායකයන් විසින්, තමන්ට විරුද්ධව යන බොහෝ අය නිහඬ කිරීම සඳහා මෙම නීති අනිසි විදිහට පාවිච්චි කරන බව සඳහන්.

දේව අපහාසය යන චෝදනාවට වරදකරු වූ පාකිස්තාන් සරසවි කථිකාචාර්යවරයකුට 2014 වසරේදී මරණ දඬුවම නියම කර තිබෙනවා.

2013 මාර්තු මස 33 හැවිදිරි කථිකාචාර්ය ජුනයිඩ් හෆීස් අත්අඩංගුවට ගැනුණේ මුහම්මද් නබිනායකතුමා සම්බන්ධයෙන් අපහාසාත්මක අදහස් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කිරීම හේතුවෙන්.

ආගමික පූජනීය වස්තූන්ට අවමන් කරනු ලැබීම පාකිස්තානය තුළ බරපතල වරදක් වන අතර, අදාළ චෝදනාවට ලක් වූ පුද්ගලයා දැඩි මතධාරීන්ගේ ගොදුරක් බවට ද පත් විය හැකිය.

කථිකාචාර්ය ජුනයිඩ් හෆීස්ගේ නඩුව සඳහා පෙනී සිටීමට එකඟ වූ නීතිඥ රෂිඩ් රෙහ්මාන් ද 2014 වර්ෂයේ දී වෙඩි තබා ඝාතනය කෙරුණා.

ආසියා බීබී නැමැති පාකිස්තාන ක්‍රිස්තියානි කාන්තාව දේව අපහාස වරදට මරණ දඬුවම් නියම වී අට වසරක් බන්ධනාගාරගත වී සිට පසුව නිදහස් වීමත් සමඟ මෙම නීතිය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමු වුණා.

පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවකින් ඇය නිදොස් කොට නිදහස් කෙරුණුද, එම තීන්දුවට එරෙහිව රට පුරා දැවැන්ත විරෝධතා පැනනැඟුණා. ආරක්ෂාව පතා ඇයට සිය පවුලේ සියලු දෙනා සමඟ වෙනත් රටක පදිංචියට යෑමට සිදු වුණා.


2009 වසරේ ජූනි මාසයේදී කාන්තාවන් පිරිසක් සමග ඇති කර ගත් කතාබහක් මුල් කර ගනිමින් ඇයට අධිකරණයේ නඩු පවරනු ලැබුවා.

ඔවුන් ගොවිතැන්වල නියැළෙමින් සිටි අවස්ථාවකදී ඇයගේ ආගමික ඇදහිලි හේතුවෙන් ඇය කිළිටි නිසා වතුර භාජනයක් ඇල්ලීමට තහනම් කිරීමක් මුල් කරගෙන මෙම සිදුවීම ඇති වී තිබුණා.

එහිදී ඇයට ඉස්ලාම් ආගමට සම්බන්ධ වන ලෙසට අනෙක් කාන්තාවන් යෝජනා කළ අවස්ථාවේ ඇය මුහම්මද් නබිතුමන් සම්බන්ධයෙන් වැරදි මත තුනක් පැවසූ බවටයි චෝදනා එල්ල වුණේ.

මෙම නීතිය කොතරම් ප්‍රතිගාමීදැයි සහ ඉස්ලාම් අන්තවාදීන් පාකිස්තානය තුල කොතරම් ප්‍රබල යන්න පැහැදිලි වන තවත් සිද්ධියක් පසුගියදා වාර්තා වුණා.

ඒ නැගෙනහිර පාකිස්තානයෙන් වාර්තා වූ අට හැවිරිදි හින්දු දරැවෙකු කාපට් එකක් මත මුත්‍රා කිරීම ආගමික අපහාසයක් ලෙස සළකා අත්අඩංගුවට ගැනීමයි.

පසුගිය මාසයේදී ආගමික පොත් තබා තිබූ මද්‍රසා පුස්තකාලයක කාපට් මත හිතාමතාම මුත්‍රා කිරීම දරුවාට එරෙහිව එල්ල කළ ඇති දරුණු චෝදනාවයි. 

මේ සිද්ධියත් සමග දරුවාගේ මුළු පවුලටම සැඟවී සිටීමට සිදුවූ අතර  පන්ජාබයේ රහිම් යාර් ඛාන් නගරයේ හින්දු ප්‍රජාවගෙන් බොහෝ දෙනෙකුට සිය නිවෙස් අතහැර පලා යාමට සිදුවුණා. චෝදනා ලැබු පිරිමි දරුවා ඇප මත මුදාහැරීමෙන් පසු එහි හින්දු භක්තිකයන්ට දරුණු ප්‍රහාරයකට මුහුණ දීමට සිදු වුණා. කෝපයට පත් මුස්ලිම් අන්තවාදීන් විසින් නගරයේ හින්දු කෝවිලක් ද ගිනිබත් කරනු ලැබුවා.

පකිස්ථානය මේ වනවිට අසමත් රාජ්‍යය් බවට පත්ව තිබෙනවා. අසමත් රාජ්‍යයක දැකිය හැකි වංචාව, දූෂණය, නීතියේ ආධිපත්‍ය බිඳ වැටීම, ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටීම, හමුදා තන්ත්‍රය සහ ආගමික පූජකයින් රාජ්‍යයට බලපෑම් කිරීම ආදී කී-නොකී සියල්ල පකිස්ථානය තුල ප්‍රබල ලෙස වර්ධනය වෙමින් තිබෙනවා.  ආර්ථිකමය ලෙස රට බංකොලොත් වී ඇති බව පසු ගිය දිනවල පකිස්ථානයේ අගමැති ඉම්රාන් ඛාන් පැවසුවා.

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ පමණින් රටක් පාලනය කළ නොහැකි බව ඉම්රාන් ඛාන් සපථ කරමින් සිටින සත්‍යයි.

ඉම්රාන් ඛාන්ට පාලනය කළ නොහැකි ප්‍රධාන අංග දෙකක් එ‍රට දේශපාලනයේ තිබෙනවා. එකක් ආගමික මුල්ලාවරුන්ගේ ආධිපත්‍යයි. අනෙක් කොටස හමුදාවේ අධිකාරිත්වයයි. මේ කොටස් දෙක කියන කියන පදයට නටනවා හැරෙන්නට ඉම්රාන් ඛාන්ට කළ හැකි අන් යමක් නැහැ

අනෙක් අතට ඉම්රාන් ඛාන්ට වුවද ලෞකික ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ නිසි දැක්මක් නොමැති බව පෙන්නුම් කළේ,  ප්‍රංශයේ ගුරුවරයකු සැමුවෙල් පැටී කිසියම් අන්තවාදියකු විසින් මරා දැමුණු විට, ප්‍රංශයේ නැග ‍එන ඉස්ලාමීය අන්තවාදයට දැඩි පියවර ගන්නේ යයි ප්‍රංශ ජනාධිපති Emmanuel Macron කී විට යථාර්තය පිළිගන්නට නොකැමැති වූ ඉම්රාන් ඛාන් හැසිරුණේ ආගමික ආලයෙන් පෙළෙන්නෙකු ලෙසයි.

 ඔහුගේ එම ආස්ථානය පකිස්ථානය පුරා ප්‍රංශ විරෝධී විරෝධතා වලින් ගිනියම්ව රට දින කිහපයකට අඩපන වන්නට හේතු වූ අතර විරෝධතාකරුවන්ගේ පුමුඛ සටන් පාඨයක් වූයේ එරට රැඳී සිටින ප්‍රංශ තානාපතිවරයා පිටුවහල් කිරීමයි.

තහනම් අන්තවාදී සංවිධානයක් වන Tehreek - e - Labbaik Pakistan (TLP)  මෙම විරෝධතා සංවිධානය කළ අතර අවසානයේ පාකිස්තාන රජයට සිදුවූයේ අන්තවාදී සංවිධානයේ තහනම ඉවත් කොට අත්අඩංගුවේ සිටි අන්තවාදීන් නිදහස් කර හැරීමටයි. ආගමික මුල්ලාවරුන්ගේ ආධිපත්‍යය පාකිස්තාන දේශපාලනයට ඉහළින් කොතරම් ප්‍රබලව නැගී ඇත්ද යන්න ඉන් පැහැදිලි වනවා.

උපුටා ගැනීම :නෙත් නිවුස්