රට සල්ලි එවන අයගෙන් ගාස්තු අය නොවේ

foreign-currency

විදේශගත ශ්‍රමිකයන් මෙරටට රැගෙන එන විදේශ විනිමය (ප්‍රේෂණ) සඳහා ලබාදෙන රුපියල් 10ක දිරි දීමනාව ලබන වසරේ (2022) ජනවාරි 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

මීට පෙර මහ බැංකුව නිවේදනය කර තිබුණු ආකාරයට එම දිරි දීමනාව ලබාදීම මෙම වසරේ (2021) දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීමට නියමිතව තිබිණි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් විදේශගත ශ්‍රමිකයන්ට රුපියල් 210ක මුදලක් සියලුම වාණිජ බැංකුවලින් ලබා ගත හැකිවේ.

මීට අමතරව විදේශ සේවා නියුක්තිකයන් විසින් විදේශ විනිමය හුවමාරු ආයතන සහ බැංකු හරහා ශ්‍රී ලංකාවට එම විදේශ මුදල් ප්‍රේෂණය කිරීමේ දී දැනට එම ආයතනවලට ගෙවනු ලබන ගාස්තු නිශ්චිත සීමාවකට යටත්ව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැරීමට තීරණය කර ඇත. ඒ අනුව ඉදිරියේ දී විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසකට කිසිම ගාස්තුවකින් තොරව තම විදේශ මුදල් ශ්‍රී ලංකාවට එවීමට හැකිවනු ඇත.

(අරුණ)