බාල වයස්කාර දැරියක් සේවයේ යෙදවූ හොර ඒජන්සිකරු අත්අඩංගුවට

බාල වයස්කාර දැරියක් සේවයේ යෙදවූ හොර ඒජන්සිකරු අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් සේවයේ යොදවමින් මරදානේ සෙන්ට්‍රල් ප්ලාසා ගොඩනැගිල්ලේ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි ආයතනයක් වැටලූ විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශය එහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීම සිදුකරන අවස්ථාවේදී වයස අවුරුදු 16ක දැරියක් සේවයේ යොදවා සිටි අතර, මරදාන පොලිසියේ කාන්තා හා ළමා අංශයේ නිළධාරිනියන් එම ස්ථානයට කැඳවා මෙම දැරිය පොලිසියට භාරදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් කටයුතු කර තිබේ.මෙම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 50ක්, ව්‍යාජ ලෙස සකස් කරන ලද ග්‍රාම නිළධාරි සහතික, දිවුරුම් ප්‍රකාශන ඇතුළුව කූට ලේඛන රැසක්ද සොයාගෙන තිබේ.

අදාළ සැකකරු මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇප මත මුදා හරින ලද අතර, මාර්තු 25 දින යළි අධිකරණයේ පෙනී සිටින ලෙස නියෝග කරන ලදී. මෙහි ප්‍රධාන සැකකරු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක වේ.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ හා කාර්යාංශයේ සභාපති මහින්ද හතුරුසිංහ මහතාගේ උපදෙස් අනුව නීති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි නෙලුම් සමරසේකර මහත්මියගේ  මෙහෙයවීමෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති ක්‍රියාත්මක කිරීමේ නිළධාරී සරත් විමලවීර, ඉදුනිල් පුෂ්පකුමාර, අමිල පෙරේරා, වසන්ත ඒකනායක හා කේ.සී.එන් දමයන්ති යන මහත්ම මහත්මීහු මෙම වැටලීම සිදුකළහ.