නීති විරෝධිව ඉන්දියාවට ගිය ලාංකිකයින් දෙදෙනෙක් පොලිස් දැලේ

නීති විරෝධිව ඉන්දියාවට ගිය ලාංකිකයින් දෙදෙනෙක් පොලිස් දැලේ

ඉන්දියාවට නීති විරෝධීව පැමිණි යාපනයේ පදිංචි ශ්‍රී ලාංකික දෙමළ පුද්ගලයන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉන්දීය නාවික පොලිසිය පැවසීය.

තමිල් නාඩුවේ තොන්ඩි මුහුදු වෙරළේදී ඉන්දීය නාවික හමුදාව විසින් සැක සහිත බෝට්ටුවක් පරික්ෂා කළ අවස්ථාවේ මෙම ශ්‍රී ලාංකික දෙමළ තරුණයන් දෙදෙනා අත් අඩංගුවට ගෙන ඇත.

පරික්ෂා කිරීමේදී ඔවුන් සතුව ගමන් මලු,බඩු බාහිර ආදිය නොතිබූ නිසා සරණාගතයින් ලෙස ඉන්දියාවට පැමිණි පුද්ගලයින් නොවන බවට සැකයක් මතු වූ බව ඉන්දීය නාවික පොලිසිය ප්‍රකාශ කළේය.

සැකකරුවන් දෙදෙනා 27 හැවිරිදි ජයසීලන් සහ 34 හැවිරිදි අරුල්රාජ් ලෙස හඳුනා ගත් බව නාවික පොලිසිය කියයි.

මෙම තරුණයන් දෙදෙනා ශ්‍රී ලංකාවේ අපරාධ නඩු කිහිපයකට අවශ්‍යව සිටින පුද්ගලයන් දෙදෙනෙකු බවත් ඉන් බේරීමට මෙසේ ඉන්දියාවට පැනවිත් ඇති බවත් මුලික පරීක්ෂණ වලින් අනාවරණය වූ බව ඉන්දීය නාවික පොලිසිය පැවසීය.

මෙම තරුණයන් දෙදෙනා ඉන්දියාවට පැමිණීමට හේතුව සහ මොවුන් ජාවාරම් කල්ලියක සාමාජිකයන්ද යන වග සෙවීම සඳහා විමර්ශනයක් ආරම්භ කරන බවත් මොවුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය දැනුවත් කරන බවත් ඉන්දීය බලධාරීන් ප්‍රකාශ කළේය.

මෙම තරුණයන් දෙදෙනාට විරුද්ධව ඉන්දියානු විදේශ ගමන් බලපත්‍ර පනත සහ අනිකුත් පනත් ප්‍රකාරව නඩුවක් ගොනු කරන බව ඉන්දීය නාවික පොලිසිය පැවසීය.