මැති ඇමැති වරුන්ගේ රථ ගාය විදෙස්ගත ශ්‍රමිකයන්ට නොමැත

මැති ඇමැති වරුන්ගේ රථ ගාය විදෙස්ගත ශ්‍රමිකයන්ට නොමැත

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ හරය රඳා පවතින්නේ ඡන්ද දායකයා සහ සිය මහජන නියෝජිතයා අතර ගොඩනැඟෙන අන්නොන්‍ය විස්වාශය මතය. එය ඔපවත් වන්නේ මහජන නියෝජිතයා දරණ මතවාදය, සහ අනුගමනය කරන ප්‍රතිපත්තීන් සහ හර පද්ධතීන් ඔස්සේය. එහෙත් වර්තමානයේ මෙම අන්නොන්‍ය විස්වාශය සුණු විසුණු වි ඇති තරම ශ්‍රී ලංකාවෙන් හොදින්ම අධ්‍යයනය කලහැක.

කිසිම ප්‍රතිපත්තියක් නොමැති වීම සිය එකම ප්‍රතිපත්තිය කරගෙන සිටින මන්ත්‍රීවරුන් පිරිසක් දැන් සර්ව පාක්ෂික භාරකාර රජයක ඇමැති කම් බාරගෙන ජනතාව පීඩාවට ලක්වන අගහිග කම් අවම කිරීමට යුහුසුළුව කටයුතු කරති. ඊට අනුරූපව ඔවුන් තීන්දු තීරණ ගැනීමට පුරුදුව ඇත්තේ ජනතාවට අවශ්‍ය කරන සහන සහ දිරිගැන්වීම් ලබාදීම වෙනුවට ඔවුන්ගේ ප්‍රමුඛතාවන් මත පිහිටා කටයුතු කිරීමටය.

විදේශ විණිමය වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ප්‍රේශණය කරන්නේ විදෙස්ගත ශ්‍රමිකයන් බව සත්‍යයකි. මෙම ප්‍රේශණයන් පැහැඳිලි අඩුවීමක් පසුගිය කාලයේදී වාර්තාවූයේ කෘතීම ලෙස විණිමය අනුපාත රජය අදූර්දර්ශිව පාලනය කල නිසාය. ඊට සමගාමීව කෝවිඩ් වසංගතය නිසා ගෝලීය ශ්‍රම වෙළඳ පලේ වෙනස්වීම් ද සැලකිල්ලට ගතයුතුව ඇත.

නව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විදෙස්ගත ශ්‍රමිකයන් ලවා විණිමය රට තුලට කඩිනමින් ගෙන්වා ගැනීම දිරි ගැන්වීම සදහා වසරක් ඇතුලත ඩොලර් ලක්ෂයක් බැංකු පද්ධතිය හරහා එවන්නේ නම් එවන් ශ්‍රමිකයෙකුට වාහනයක් ආනයනය කිරීමට බල පත්‍රයක් ලබාදීමට කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රකාෂ කර සිටියේය.

ගරු ඇමති තුමනි පොළවට පය ගසා කරුණු සාධක සොයා බලා කටයුතු කිරීමට සුදානම් වන්න. වසරකට ඇ ඩොලර් ලක්ෂයක් ඉතිරි කර ගත හැකි රැකියාවල් වල නිරත විදෙස්ගත ශ්‍රමිකයින් කොපමණ සිටිත්ද? එකී ශ්‍රමිකයින්ට ලංකාවට පැමිණ අධි සු‍ඛෝපභෝගී රථ වාහන පැදවීමේ මැති ඇමති රථ ගායක් නොමැති බව තේරුම් ගන්න. මෙම අර්බුදකාරී අවස්ථාවේදී රට වෙනුවෙන් ඔවුන් සතු ඉතුරුම් බැංකු පද්ධතිය ඔස්සේ ගෙන්වා ගැනීම දිරිමත් කරවීමට විදෙස්ගත ශ්‍රමිකයින් සිය ප්‍රේෂණ බැංකු වලට එවීමේදී දැරිය යුතු බැංකු සේවා ගාස්තු බැංකු විසින් දරාගන්නා ලෙසට යෝජනා කර ඔවුන් දිරි ගන්න වන්න. අධික බැංකු සේවා ගාස්තු මඟ හැරීමට වෙනත් ක්‍රම වේදයන් ඔස්සේ සිය විදේශ ඉතුරුම් ශ්‍රි ලංකාවට එවීමට ඔවුන් දැනටමත් කටයුතු කරන බව වටහා ගන්න.

ජයශ්‍රී ප්‍රියලාල්
සිංගප්පූරුව
24 05 2022