ලංකාවට අත දෙන්න කොරියානු රජය සූදානම් -රැකියා අවස්ථාද ඉහළ යන ලකුණු

ලංකාවට අත දෙන්න කොරියානු රජය සූදානම් -රැකියා අවස්ථාද ඉහළ යන ලකුණු
පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට ශ්‍රී ලංකාවට තම රජයේ පූර්ණ සහාය ලබාදෙන බව දකුණු කොරියානු තානාපති ජියෝන්ග් වුන්ජින් (Jeong Woonjin) ප්‍රකාශ කර සිටිනවා.
 

අද (16) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙමින් දකුණු කොරියානු තානාපතිවරයා මේ බව සඳහන් කර සිටියා.

පසුගියදා පැවති මැතිවරණයෙන් නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ යුන් සුක් යෙයොල් (Yoon Suk-Yeol) මහතාට සහ  ඔහුගේ පක්ෂය (People Power Party) ලැබූ විශිෂ්ට ජයග්‍රහණයට ජනාධිපතිතුමා මෙහිදී සිය සුභාශිංසන එක් කර සිටියා. දෙරට අතර 45 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සිහිපත් කළ ජනාධිපතිතුමා දකුණු කොරියානු රජය නිරන්තරයෙන් මෙරටට ලබාදෙන සහාය අගයනු ලැබු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වර්තමාන ආර්ථික අර්බුදය පිළිබඳ ජනාධිපතිතුමා තානාපතිවරයා දැනුවත් කරනු ලැබූ අතර පවතින තත්ත්වයෙන් මිදීමට දකුණු කොරියානු රජයේ සහාය තවදුරටත් අපේක්ෂා කරන බව සඳහන් කර සිටියා.

මෙරට තරුණයින්ට සිය රටින් ලබාදෙන රැකියා අවස්ථා සංඛ්‍යාව වැඩි කරගැනීම හා ව්‍යවසායකයින්ට කර්මාන්ත ක්ෂේත්‍රයේ ආයේජනය සඳහා ඇරයුම් කරන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා සිටියා.