ලෝකයේ හොඳම සාත්තු සේවක ආර්ථිකය බවට ශ්‍රි ලංකාව පත්කරනවා

ලෝකයේ හොඳම සාත්තු සේවක ආර්ථිකය බවට ශ්‍රි ලංකාව පත්කරනවා

“ලෝකයේ හොඳම සාත්තු සේවක ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින් සපයන රට බවට ශ්‍රී ලංකාව පත්කර සාත්තු සේවක ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවත්, මීට පෙර ශ්‍රි ලංකාව ගෘහ සේවකයින් පමණක් රට රැකියා සඳහා යොමුකළ සංකල්පය ඉවත් කළ යුතු බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, එක්සත් රාජධානියට හා ජර්මනියට හෙද හා සාත්තු සේවක රැකියා සඳහා වෘත්තිකයින් බඳවාගැනීමේ වැඩසටහනකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙලෙස ප්‍රකාශ කළේය.

“අපේ රට ණය ගෙවා ගන්න බැරි රටක් ලෙස ලෝකයේම ප්‍රසිද්ධ වෙලා. එහෙම වුණාම අපිට ණය දෙන්නේ නෑ. කොන්ක්‍රීට් සංදර්ශන වෙනුවෙන් වියදම් කළා. ණය බර වැඩිවුණා. රටේ ඩොලර් සංචිතය අඩුවුණා. ඉහළ පොලියට ගන්න ඩොලර් ගෙවාගන්න බැරිවෙලා. ණය ශ්‍රේණිගත කිරීම්වල පහලට වැටිලා, තෙල් ගෑස් ලංකාවට ගෙන්න ගන්න බෑ. ණයවර ලිපිවලට ඉන්ධන ගෑස් දෙන්නේ නෑ.

ලෝකයේ බොහෝ රටවල් ආර්ථික වශයෙන් වැටෙනකොට, එම රටවල විදේශගත ශ්‍රමිකයින් උදව් කළා. පාකිස්ථානයේ ආර්ථිකය වැටෙනකොට විදේශගත ශ්‍රමිකයින් රට සල්ලි එවලා රට ගොඩනගන්න. ඉන්දියාව වැටෙනකොට විදේශගත ඉන්දියානුවන් රටට ඩොලර් එවලා රට ගොඩගන්නවා. අපේ රටෙත් විදේශ ගත ශ්‍රමිකයින් රට වෙනුවෙන් මුදල් එවලා රට ගොඩගනියි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ රටට ඩොලර් ගෙන්විමට තියෙන පහසුම ක්‍රමය විදේශගත ශ්‍රමිකයින්ගෙන් ලැබෙන ආදායමයි.

රජයේ සේවකයින් විදේශ ගතකිරීම සඳහා වන චක්‍රලේඛනය නිකුත් වී තිබෙනවා. එම චක්‍රලේඛනය හා හෙද සේවයට අදාළ චක්‍රලේඛනය අතර යම් යම් වෙනස්කම් තිබෙනවා.

හෙද සහ සාත්තු සේවක ක්ෂේත්‍රයේ ශ්‍රමිකයින් විදේශ ගතවීමේදී, ඔවුන් ලබාගෙන ඇති ණය මුදල් සම්බන්ධයෙන් බැංකු සමග අපි සාකච්ඡා කළා. රැකියාව සඳහා විදේශ ගතවීමට අවශ්‍ය පෙර විගමණික ණය ලබාදෙන්න බැංකු සමග එකගතාවයකට ආවා. එසේම ණය ඇපකර මත ලබාගත් ණය විදේශ ගතවීමට පෙර ගෙවීම අවශ්‍ය නොවන බවටත් බැංකු සමග එකගතාවයකට ආවා. විදේශ රැකියාවේ නිරතව සිටින අතර එම ණය ගෙවන්න පුළුවන්. මේ සමග අපි බැංකු පද්ධතිය සමග සාකච්ඡා කර එකගතාවයකට පැමිණියා.

අද අපිට ඩොලර් ණය ගන්න වෙලා තියෙන්නේ සියයට 6- 8 පොලියට. මීට පෙර අපේ රට අරගත්ත ණය හරියාකාරව කළමනාකරණය කළේ නැති නිසා අපිට යලි ණය ගෙවා ගැනීමේ හැකියාවත් නැතිවුණා. නමුත් යළිත් ණය ගත්තා. ජපානය 300% ණය තියෙන රටක්. හැබැයි ණය හරි දේ වෙනුවෙන් යොදවනවා. ණය කළමනාකරණය කරනවා.” යනුවෙන්ද අමාත්‍යවරයා සඳහන් කළේය.

සාත්තු සේවා ආර්ථිකයක්ද (Care Economy) බිහිකිරිමට අවශ්‍යව ඇති බවත්, රටතුළද සංචාරක වැනි කටයුතුවල සාත්තු සේවා ආර්ථිකයක් බිහිකරන්න සැලසුම් කර ඇති බවද සඳහන් කළේය. ඉදිරියේදී සාත්තු සේවා රැකියා වැඩිකිරීමටද, රජයේ මෙන්ම පෞද්ගලික ආයතන මගින්ද ඊට ආදාළ ඩිප්ලෝමා සහතික ලබාගැනීමටද, එසේම ජාත්‍යන්තර සංක්‍රමික සංවිධානයද මෙම වැඩපිළිවෙල සඳහා සහාය ලබාදෙන බවද අමාත්‍යවරටයා වැඩිදුරටත් සඳහන් කළේය. ලෝකයේ හොඳම සාත්තු සේවය සඳහා යන නාමය ශ්‍රි ලංකාවට ලබාගැනීමට සෑම පියවරක්ම ගන්නා බවද සඳහන් කළේය. ශ්‍රි ලාංකිකයින්ගේ කරුණාව, ඉවසීම, ලෙන්ගතුකම, කාර්යක්ෂමතාවයද ඊට බලපාන බවද ඔහු කියා සිටියේය.

ශ්‍රි ලංකාව ආර්ථික හා සමාජ වශයෙන් සංවර්ධනය කිරිමට නම් අලුතින් හිතන්න (Think New) යන සංකල්පය පෙරදැරි කර ගත යුතු බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජික හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින්ගේ සංගමයේ ලේකම් M.F අර්ෂාඩ්, රජයේ හෙද නිළධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය යන මහත්වරුන් හා හෙද නිළධාරීන් රැසක් එක්ව සිටියහ.