ඇඟලුම් සේවකයින් රන් ඉස්සුවාද? - පරීක්ෂණ ක්‍රියාත්මකයි!

ඇඟලුම් සේවකයින් රන් ඉස්සුවාද? - පරීක්ෂණ ක්‍රියාත්මකයි!
ඩුබායි සිට ශ්‍රී ලංකාව හරහා ඉන්දියාවට යෑමට සූදානමින් පැමිණි ඉන්දියානු ජාතික ගුවන් මගියකු සතුව තිබුණු රන් කිලෝ 5කට ආසන්න ප්‍රමාණයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ පිහිටි තීරු බදු සාප්පු සංකීර්ණයකදී සොරා ගත්තේ යැයි කියන සිදුවීමක් සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
 
මෙම සොරකම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති ඉන්දියානු ජාතිකයා සඳහන් කර ඇත්තේ රන් කිලෝ 6යි ග්‍රෑම් 960ක් රැගෙන තමා ඉකුත් 10 දා ඩුබායි සිට මෙරටට පැමිණියේ ඉන්දියාව බලා ගමන් කිරීමට සූදානමින් බවයි.
 
 ඩුබායි සිට බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණි තමා ඉන්දියාව බලා යෑමට නියමිත ගුවන් යානාව සූදානම්වන තුරු ගුවන් තොටුපොළේ පිහිටි ඇඳුම් සාප්පුවකට ගිය බවද එම ඉන්දියානුවාගේ පැමිණිල්ලෙහි සඳහන් වේ.
 
 එහිදී ඔහු ඇඳුම් පරීක්ෂා කරමින් සිටියදී ෆිටෝන් කාමරයේදී ගමන් මල්ල බිම වැටී රන් කැබලි විසිරී ගිය බවත් එම රන් කැබලි එකතු කිරීමට තමාට සහාය දුන්නේ ඇඟලුම් සාප්පුවේ සේවකයන් බවත් ඉන්දියානුවා පවසා තිබේ.
 
 එසේ ඔහුට රන් කැබලි අහුලාදීමෙන් අනතුරුව ඒ ගැන ඇඟලුම් ආයතනයේ සේවකයන් විසින් ගුවන්තොටුපොළ රේගු අංශය දැනුවත් කර ඇති බවත්, ඒ අනුව එම ගුවන් මගියාව රේගු නිලධාරීන් සිය බාරයට ගෙන පරීක්ෂා කර ඇත. 
 
එහිදී තිබී ඇත්තේ රන් කිලෝ 2යි ග්‍රෑම් 332ක් පමණි. එහිදී ඉන්දියානුවා පවසා ඇත්තේ රන් කිලෝ 6යි ග්‍රෑම් 960ක් තමා සතුව තිබුණු බවයි. 
 
ඒ් අනුව රන් කිලෝ 4යි ග්‍රෑම් 640ක් අඩු වී ඇති බවද ඔහු පවසා තිබේ.
 
 ඒ සම්බන්ධයෙන් අදාළ ඇඳුම් සාප්පුවේ සේවකයන් සැක බව ඔහු පැවසීම හේතුවෙන් පොලිසියට ඒ ගැන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
 
 එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන මේ වන විට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට භාරදී ඇතැයි කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය සඳහන් කළේය.