සංචාරක වීසා මගින් දඹුල්ලේ කාන්තාව ඩුබායි යැවූ ඒජන්සි හිමිකරු අත්අඩංගුවට

සංචාරක වීසා මගින් දඹුල්ලේ කාන්තාව ඩුබායි යැවූ ඒජන්සි හිමිකරු අත්අඩංගුවට

සංචාරක වීසා මගින් ඩුබායි රාජ්‍යයේ ගෘහ සේවයට යැවූ කාන්තාවන් 85 දෙනෙකු ඩුබායි වදකාගාරයක සිර කර ගෙන සිටින බවට සඳහන් කරමින් මාධ්‍යවල පළවු පුවත සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරන ලදී.

ඒ අනුව කාර්යාංශයේ විමර්ශන නිළධාරින් කණ්ඩායමක් දඹුල්ල ප්‍රදේශයට ගොස් අදාල එජන්සි ආයතනයේ හිමිකරු සහ  මෙම තොරතුරු මාධ්‍යට ලබා දුන් ලලිතා පද්මණි නම් කාන්තාව  දඹුල්ල පිහිටි  කාර්යංශයේ පුහුණු මධ්‍යස්ථානයට කැදවා ප්‍රකාශ සටහන් කර ගන්නා ලදී. පසුව මෙම එජන්සි ආයතනයේ හිමිකරු  අත්අඩංගුවට ගෙන දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව  ලබන මස 03 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදි.

කෙසේ වුවද මෙම ප්‍රවෘත්තියට පාදක වු ලලිතා පද්මණි නම් කාන්තාව 2022.05.23 වන දින කටුනායක ගුවන් තොටුපලෙන් විදේශ ගතවන වේලාවේදි ගුවන් තොටුපල කාර්යාංශ ඒකකයට පවසා ඇත්තේ රැකියාවක් සඳහා විදේශ ගත නොවන බවයි.

එම තොරතුරු ඇයගේ ස්වයං ප්‍රකාශය මගින් ලබාදී ඇති අතර, ඇය එහි සඳහන් කර ඇත්තේ තමාගේ සංචාරය සඳහා ඇයගේ සහෝදරයා සහ සහෝදරිය වියදම් දරණ බවත් නැවත 2022.06.07 දින ශ්‍රී ලංකාවට පැමිණන බවත්ය.

මේ අයුරින් මෙම කාන්තාව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ගුවන් තොටුපොල ඒකකයේ නිළධාරින්ට  සත්‍ය තොරතුරු වසන් කරමින් විදේශ ගත වි ඇති අතර, නීත්‍යානුකූල නොවන අයුරින් රැකියාව සදහා විදේශ ගතවීම මගින් කාර්යාංශයේ නීති උල්ලංඝණය කර ඇති බවද කාර්යාංශය ප්‍රකාශ කර සිටියි.