හොර රැකියා ඒ්ජන්සියක් වටලයි - අගතියට පත් අය සිටීනම් දැනුම්දෙන්න

හොර රැකියා ඒ්ජන්සියක් වටලයි - අගතියට පත් අය සිටීනම් දැනුම්දෙන්න
යුරෝපා රටවලට පුද්ගලයන් යවන බව පවසමින් රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කළ හොර විදේශ සේවා ආයතනයක් වටලා ඊට මුද්‍රා තැබූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
 
මෙම සිදුවීම සිදුවී ඇත්තේ ඊයේ (28) දිනයේය.
 
අංක 12 ගාර්ඩ්න් සිටි මිනුවන්ගොඩ පාර ජා-ඇළ ලිපිනයේ සුවිසල් මන්දිරයක මෙම හොර විදේශ සේවා කාර්යාලය පවත්වාගෙන ගොස් ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති විමර්ශන නිලධාරියෙක් කියා සිටියි. 
  
ඕස්ට්‍රේලියාව ඇතුළු යුරෝපා රටවලට අධ්‍යාපන හා රැකියා වීසා ලබාදෙන බව පවසමින් ජා-ඇළ අවට පුද්ගලයන් 420කගෙන් පමණ රුපියල් ලක්ෂ 2 සිට රුපියල් ලක්ෂ 10 දක්වා ප්‍රමාණවලින් මෙලෙස මුදල් වංචා කර ඇති බව එම ආයතනයට මුදල් ලබා දුන් පිරිස් පවසා සිටියහ.
 
 විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් අදාළ ඒජන්සිය වටලන අවස්ථාවේ දී එහි සේවා කටයුතු කරමින් රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන බලපත්‍රයක් නොමැතිව විදේශ සේවා ආයතනයක් පවත්වාගෙන යාමේ වරද යටතේ  වත්තල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇත.
 
 අනතුරුව ඔවුන් දෙදෙනා ඔක්තෝබර් මස 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව වාර්තා වේ.
 
එසේම එම විදේශ සේවා කාර්යාලය පවත්වාගෙන ගිය තවත් තිදෙනෙකුට ගුවන් ගමන් තහනමක් ද අධිකරණ විසින් පනවනු ලැබීය.
 
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නීති විමර්ශන නිලධාරීවරයා ඉල්ලා සිටියේ මෙම ආයතනයට මුදල් ලබාදී වංචාවට හසු වු පුද්ගලයන් දිවයින පුරා සිටිය හැකි බවත් ඔවුන් පැමිණ වහාම ඒ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුවත් කරන ලෙසත් ය.