බිලිඳෙකු විකිණීමට සහය වූ ශ්‍රී ලාංකික කතක් ඩුබායිහිදී දැලේ

බිලිඳෙකු විකිණීමට සහය වූ ශ්‍රී ලාංකික කතක් ඩුබායිහිදී දැලේ
අන්තර්ජාලය හරහා බිළිඳෙකු ඩිරාම් 12,000කට අලෙවි කිරීමට තැත් කළ ශ්‍රී ලාංකික කාන්තාවක සහ තවත් දෙදෙනෙකු ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන තිබේ.
 
 කලීජ් ටයිම්ස් පුවත් සේවය වාර්තා කරන අයුරින් 35 හැවිරිදි ඉන්දුනීසියානු කාන්තාවක විසින් මුදල් අවශ්‍යතාවක් මත තම අලුත උපන් බිළිඳා ව මෙලෙස විකිණීමට උත්සාහ දරා තිබූ අතර, ඒ සඳහා ඇයට ගැණුම්කරුවෙකු සොයා ගැනීමට තැත් කළ සහාය සැපයූ 45 හැවිරිදි ශ්‍රී ලාංකික කාන්තාවක ඇතුළු කාන්තාවන් දෙදෙනෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත.
 
මාස 2ක් වයසැති අදාළ බිළිඳා විකිණීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේ දී අන්තර්ජාලය ඔස්සේ පළකර තිබූ දැන්වීමක් මත ඩුබායි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබුණි. 
 
එම දැන්වීම පළ කර ඇත්තේ ශ්‍රී ලාංකික කාන්තාව බව එම පරීක්ෂණ ඔස්සේ වැඩිදුරටත් අනාවරණය වී තිබේ. 
 
ඒ අනුව ඩුබායි අධිකරණයේ පැවති නඩු විභාගයේ දී සැකකරුවන් තිදෙනා ම මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් ලෙස හඳුනා ගත් අතර, එක් සැකකරුවෙකුට වසර තුනක සිරදඬුවමක් සහ ඩිරාම් 4000ක දඩයක් නියම කිරීමට ඩුබායි අධිකරණය විසින් කටයුතු කර තිබේ.