තරුණ තරුණියන්ට ජපන් යන්න මාවත විවර වෙයි -මෙන්න විස්තර

තරුණ තරුණියන්ට ජපන් යන්න මාවත විවර වෙයි -මෙන්න විස්තර
පාසල් අධ්‍යාපනය අවසන් කරන තරුණ සිසුන් සඳහා ජපානයේ වසර හතරක තාක්ෂණික පුහුණුවක් ලබා දීමට අවශ්‍ය මූලික එකඟතා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සහ ජපානයේ ගෝජෝ නගරයේ නගරාධිපති Yoshinori Ohta අතර ඇති කර ගෙන තිබේ.
 
නිවේදනයක් නිකුත් කරමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය මේ බව කියා සිටියි.
 
ජපානයේ සංචාරයක නිරත මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ජපානයේ ගෝජෝ නගයේ නගරාධිපතිවරයා, ප්‍රධාන විධායක නිලධාරී Noriyuki Minami, ජපාන පාර්ලිමේන්තුවේ විදේශ සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ Iwao Horii, ජපාන විදේශ කටයුතු අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Iwase Kiichiro, ජපාන ලංකා මිත්‍රත්ව සංගමයේ Kawai Hiromi ඇතුළු ජපාන නියෝජිත කණ්ඩායමක් සමග කළ සාකච්ඡාවකදී මේ සදහා අවශ්‍ය මූලික එකඟතාවලට පැමිණ ඇත.
 
ගාල්ල දිස්ත්‍රික්කය සහෝදර නගර ලෙස සංවර්ධනය කිරීම සඳහා ද මෙහිදී එකග වී ඇති අතර ජපාන – ශ්‍රී ලංකා ද්විපාර්ශවික සම්බන්ධතා සදහා වසර 70 ක් සම්පූර්ණ වීමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
 
මෙම වැඩසටහන අනුව උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුව තරුණයින්ට ජපානයට පැමිණ කෘෂි ක්ෂේත්‍රයේ වසර හතරක උපාධි පාඨමාලාවක් සහිත පුහුණුවක් ලබා ගැනීමට හැකි අතර එම කාලය තුළදී ජපානයේ නිවාසවල පදිංචිව දෙරටේ සංස්කෘතික හුවමාරුවක් සඳහා ද අවස්ථාව විවෘත වනු ඇත.
 
එහිදී විශේෂයෙන් ම නවීන කෘෂි තාක්ෂණය සම්බන්ධයෙන් වැඩිදුරටත් පුහුණුව ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.
 
මෙම සිසු හුවමාරු වැඩසටහන ආරම්භ කිරීමට පෙර ගෝජෝ නගරයේ පාසල් ගාල්ල දිස්ත්‍රික්කයේ පාසල් සමග අන්තර්ජාලය  හරහා සම්බන්ධ වෙමින් හුවමාරුව වැඩසටහනක් ක්‍රියාත්මක කිරිමට නියමිත ය.
 
මීට අමතරව ලංකාවේ තරුණ තරුණියන් සදහා ජපානයේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පවතින අවස්ථා සම්බන්ධයෙන්, ජපාන නියෝජිතයින් සමග විශේෂ සාකච්ඡාවක් අමාත්‍යවරයා පවත්වා තිබේ.
 
විශේෂයෙන් ම කෘතිම බුද්ධිය, කෘෂි සැකසුම් තාක්ෂණය සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රෙය් පවතින රැකියා අවස්ථා සම්බන්ධයෙන් ජපානයේ කාවායි විශ්වවිද්‍යාලය විසින් අමාත්‍යවරයා වෙත විශේෂ පැහැදිලි කිරීමක් කර ඇත.
 
පාසල් විෂය නිර්දේශයට ජපන් භාෂාව ඇතුළත් කිරීම සදහා මනුෂ නානායක්කාර අමාත්‍යවරයා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් ද ජපන් නියෝජිතයින්ගෙන් සුභවාදී ප්‍රතිචාරයක් හිමිව තිබේ.
 
ශ්‍රී ලංකා ජපන් රැකියා සම්බන්ධතා නියෝජිත ප්‍රධානී ආචාර්ය රුවන් පෙරේරා සහ මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන් විසින් මෙම හමු සංවිධානය කර කරනු ලැබ ඇත.