විදෙස් ශ්‍රමිකයින්ගේ මුදල් හොර පාරෙන් පන්නන ක්‍රමවලට වැට බැඳිය යුත්තේ කෙසේද?

විදෙස් ශ්‍රමිකයින්ගේ මුදල් හොර පාරෙන් පන්නන ක්‍රමවලට වැට බැඳිය යුත්තේ කෙසේද?
ශ්‍රී ලංකාව මේ මොහොතේ අත්දකිමින් තිබෙන ආර්ථික අර්බුදය පළමුව කරළියට පිවිසුණේ මෙරට විදෙස් සංචිත හිඳීයාම හෙවත් 'ඩොලර් හිඟය' ලෙසිනි. ණය බර වැඩිවීමත්, ණය නොගෙවීමට ගත් තීරණය නිසා රට බංකොළොත් බව ප්‍රකාශයට පත්වීමත් ඒ් අනුව සිදුවිය. සියල්ල එසේ සිදුවෙද්දී,මෙරට විදේශ විනිමය උපයන ප්‍රමුඛතම මාධ්‍යයක් බවට අවිවාදයෙන් යුතුව පිළිගන්නා, විදෙස් රටවල සේවය කරන මෙන්ම රටට මුදල් එවන ලාංකිකයින් ගැන ජාතික මට්ටමින් ගනු ලැබූ තීරණ කෙරෙහි අපගේ අවධානය යොමුවිය යුතුමය.
 
විදෙස් ගත ශ්‍රමිකයින් විසින් නොනිල වශයෙන්, වංචා සහගත ලෙස මෙරටට මුදල් එවන ක්‍රම සහ විධි තිබුණද, ඒ්වා නීති විරෝධී බැවින් ඒ් සම්බන්ධයෙන් ගනු ලැබූ නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳවද, පසුගිය කාලයේ හෙළිදරව් විය. නෙක් අතට විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට පැමිණෙද්දි රැගෙන එන ඩොලර්වලින් අඩකටත් වඩා හොර පාරෙන් ගුවන් තොටුපොළෙන් පන්නන සංවිධානාත්මක ජාවාරමක් අනාවරණය වී තිබීම මෙහි අලුත්ම තත්ත්වයයි.
 
ගුවන්​ තොටුපොළේ ඇති බැංකු හා තීරු බදු රහිත වෙළෙඳසල්වල සිටින නිලධාරීන් සම්බන්ධ කරගෙන මෙම ජාවාරම කරන බව හෙළි වී තිබේ. මෙම ජාවාරමට සම්බන්ධ බව කියන ගුවන් තොටුපොළ බැංකු ශාඛාවක නියෝජ්‍ය කළමනාකරුවකු රුපියල් ලක්ෂ ගණනක මුදල් ද සමග අසුවීමත් සමග මෙම ජාවාරම අනාවරණය වී ඇත. පිටතින් ලක්ෂ ගණන් මුදල් රැගෙන එන මෙම ජාවාරමට සම්බන්ධ පිරිස් තීරුබදු රහිත වෙළෙඳසල් හා බැංකු වෙත පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට එදිනට පවතින ඩොලරයේ අගයට වඩා වැඩිපුර ගෙවා හොර පාරෙන්ම රුපියල් ගෙවන බව හෙළි වී තිබේ.මෙය ඉතාමත් කනගාටුදායක තත්ත්වයකි.
 
බැංකු කවුන්ටර්වලට එන ශ්‍රී ලාංකිකයන්ටත් පවතින මිලට වඩා රුපියලක් ​හෝ වැඩිපුර ගෙවා බැංකු ගත නොවන අයුරෙන් ඩොලර් පැන්නීමට මෙම සංවිධානාත්මක ජාවාරමට සම්බන්ධ නිලධාරීන් කටයුතු කරන බව දීර්ඝ විමර්ශනයකින් හෙළි වී ඇත. රේගු නිලධාරීන්ව පරීක්ෂා කිරීමට අවකාශ නොතිබීම මත දූෂිත නිලධාරින්ද මේ අයුරින් ඩොලර් පන්නන බව හෙළි වී තිබේ.
 
වැඩි ගණනට ඩොලර් මිලදී ගැනීමට සිටින ව්‍යාපාරිකයන් හා ජාවාරම්කරුවන් සමග එක්ව දිනපතා මෙම ජාවාරම කරගෙන යන බව හෙළි වී ඇත. රටට ගලා එන ඩොලර් බැංකු ගත නොවී යන ජාවාරම මෙන්ම තීරුබදු නොගෙවා ප්‍රමාණය ඉක්මවා රන් භාණ්ඩ පැළඳගෙන එන අයුරෙන් රත්රන් ගෙන එන ජාවාරමක්ද හෙළි වී ඇත.
 
මේ හේතුවෙන් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 30ක පමණ ආදායමක් රටට අහිමි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. වහාම මෙම ජාවාරම නැවැත්වීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඇමැතිවරයා රේගු බලධාරීන්ට දැනුම් දී ඇත. මර්ශකයන්ට අනුව දින රන් කිලෝ පනහකට වඩා රට තුළට එන බවද හෙළි වී තිබේ.
 
තත්ත්වය මෙසේ වුවද, රටක ආර්ථික ක්‍රියාවලිය තුළ නීති විරෝධී විනිමය සංසරණයන් නවත්වන්නට දැඩි නීති රීති තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. මන්ද යත් මේවා ඉතාමත් සැලසුම් සහගත ලෙස සමස්ත ආර්ථික ක්‍රියාවලිය පුරාම බූවල්ලෙකු මෙන් අඬු විසුරුවා විසිරී පවත්නා හෙයනි. අනෙක් අතට රටේ ජනයා දැවැන්ත ආර්ථික පීඩාවක ගිලී දරුවන් මන්ද පෝෂණයෙන් බැට කන තත්ත්වයක් උදාවී ඇති බව අප විසින් පිළිගත යුතුය. මෙහවේ පසුබිමක නීති රීති දැඩි කිරීම, සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමෙන් ඔබ්බට රටට ගලා එන විදේශ විනිමයවල ප්‍රතිලාභ සාමාන්‍ය ජනයාට බෙදීයන වැඩපිළිවෙළක අවශ්‍යතාව දැනෙමින් තිබේ. එවැන්නක් තිබුණාට පමණක් ප්‍රමාණවත් නැත. ඒ්බව ජනයාට පිළිගත හැකි මට්ටටමක තිබිය යුතුය. එය ජනතාවට දැනිය යුතුය. ජනයා මෙම ක්‍රියාවලියේ කොටස්කාරයින් බව තහවුරු කළ යුතුය. නීති විරෝධී ක්‍රම වෙනුවට සාධාරණ ක්‍රමවේදයක පවත්නා අවශ්‍යතාව ඔවුන් පිළිගත් දිනක මෙම ජාවාරම් මැඩීම අතිශය පහසු වනු ඇත.
 
පී.ඩබ් මුතුකුඩආරච්චි