විගමණික ශ්‍රමිකයින් ගැන කෝපා කමිටුවෙන් තීන්දුවක්

විගමණික ශ්‍රමිකයින් ගැන කෝපා කමිටුවෙන් තීන්දුවක්
වෘත්තීය පුහුණු ආයතන සමඟ මනා සම්බන්ධීකරණයෙන් පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සදහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙලක් සහිත සැලැස්මක් සති දෙකක් තුළ සකස් කරන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව විසින් විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් ලබා දී තිබේ.
 
විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය උදෙසා ඉටුවිය යුතු කාර්යභාරය ඇගයීම පිළිබදව වූ කාර්ය සාධන විගණන වාර්තාව පරීක්ෂාව සඳහා රාජ්‍ය ගිණුම් පිළිබද කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ සභාපතීත්වයෙන් රැස්වූ අවස්ථාවේදී මෙම උපදෙස් ලබා දී ඇත.
 
මේ අනුව එම ආයතන ඉදිරියේදී නැවත කෝපා කමිටුව හමුවට කැඳවන බවද කමිටු සභාපතිවරයා සඳහන් කර තිබේ.
 
විදෙස් රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන්හට විශාල ඉල්ලුමක් තිබුණද, ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයන් මෙරටින් යැවීමට නොහැකි වීම බරපතල ගැටලුවක් බවද,2021 වසරේ මෙය 33%ක් තරම් පහළ අගයක් ගෙන ඇති බවද,  මෙහිදී කමිටු සභාපතිවරයා පෙන්වා දී ඇත.
 
අදාළ වගකිව යුතු ආයතන මනා සම්බන්ධීකරණයෙන් නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවීම මෙයට හේතුවී ඇති බව කමිටුව පෙන්වා දී තිබේ.
 
මේ අනුව විදෙස් රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව ලොව නව රැකියා වෙළෙඳපළ පිළිබද නිරන්තර අවධානයෙන් යුතුව අදාළ ඉල්ලුම පවතින ක්ෂේත්‍රයන්ට අදාළව ශ්‍රමිකයන් පුහුණු කිරීම සඳහා නව සැලැස්මක් සහිත කාර්යක්ෂම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව විසින් අවධාරණය කර තිබේ.
 
ජාතික විගමණික ශ්‍රමික ප්‍රතිපත්තියක් මේ වන විට සකසා තිබුණද, මෙය පදනම්කරගෙන ක්‍රියාත්මක නොවීම පිළිබඳවද කමිටුවේ අවධානය යොමුවී ඇත. 
 
මේ අනුව මෙම ප්‍රතිපත්ති කාලීන වශයෙන් යාවත්කාලීන කිරීම කළ යුතු බව කමිටුව අවධාරණය කර තිබේ.
 
එම කටයුතු ආරම්භ කර ඇති බව මෙහිදී නිලධාරීන් විසින් පවසා ඇතත්,  එහි ප්‍රමාදයක් පවතින බව පෙනී යන බවත් විදේශ රැකියා ශ්‍රමිකයන් යැවීමට අදාළ මූලික සැකස්ම ඇත්තේ මෙම ප්‍රතිපත්තීන් තුළ බැවින් නිශ්චිත සැලැස්මක් සහ අරමුණක් සහිතව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමි‍ටුව විසින් පෙන්වා දී තිබේ.
 
2016 වසරේ ඇමරිකා එක්සත් ජනපදය සහ මෙරට රජය අතර ඇති කරගත් ගිවිසුමකට අනුව සුදුසුකම් සහිත හෙදියන් සදහා එරට අවකාශය තිබුණද,  ඊට අයදුම් කර තිබූ හෙදියන් 425ක පිරිසක් අතුරින් අදාළ භාෂා ප්‍රවිණතා විභාගයෙන් සමත් වූයේ හෙදියන් තිදෙනෙකු පමණක් බව මෙහිදී අනාවරණය වී ඇත.
 
ජපානය, කොරියාව ඊශ්‍රාලය වැනි රටවල රජයයන් අතර පවතින ගිවිසුම් අනුවද, පුහුණු ශ්‍රමිකයන් යැවීම සඳහා අවකාශය තිබුණද අදාළ රටවල භාෂා ප්‍රවීණත්වය මෙන්ම වෘත්තිමය කුසලතාව සහිත පිරිස අඩුවීම නිසා මෙරටින් විදෙස්ගත වන පුහුණු ශ්‍රමික පිරිස අවම වන බව මෙහිදී හෙළිවී තිබේ. 
 
මෙහිදී කමිටුව දීර්ඝ වශයෙන් පෙන්වා දුන්නේ අදාළ තානාපති සබඳතා ඔස්සේ රැකියා අවස්ථා විවර කර ගැනීම මෙන්ම ඊට අදාළව වෘත්තීය කුසලතාව සහිත ශ්‍රමිකයන් පුහුණු කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු මෙම ආයතන ක්‍රියාත්මක විය යුතු බවයි.
 
මෙරට ආර්ථික අර්බුදයක සිටින අවස්ථාවක විදේශ විනිමය උපයන උල්පතක් බදු මෙම විදේශ රැකියා ක්ෂේත්‍ර හඳුනාගෙන ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව කමිටුව දීර්ඝ ලෙස පෙන්වා දෙනු ලැබිණි.
 
ඒ සදහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය තුළ පවතින පර්යේෂණ අංශයද, වඩාත් කාර්යක්ෂමව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවද මෙහිදී කමිටුව විසින් අවධාරණය කර තිබේ.