මිනිස් ජාවාරම් මඩින්න ප්‍රගති සමාලෝචන වැඩපිළිවෙළක්

මිනිස් ජාවාරම් මඩින්න ප්‍රගති සමාලෝචන වැඩපිළිවෙළක්
මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහි ව ගන්නා පියවරවල ප්‍රගතිය සම්බන්ධයෙන් සෑම සති දෙකකට වරක්ම නිලධාරි මට්ටමේ ප්‍රගති සමාලෝචනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
 
කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස් දෙපාර්තමේන්තුවේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අතර පසුගිය 16 වෙනි දින පැවති සාකච්ඡාවක දී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
 
එහි දී මිනිස් ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයන් සොයා දීපව්‍යාප්ත වශයෙන් වැටලීම් සිදු කිරීමටත්, මිනිස් ජාවාරම් සහ මිනිස් වෙළඳාමට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරම නොබලා දඬුවම් කිරීමටත් තීරණය කර තිබේ.
 
දේශීය හා විදේශීය වශයෙන් මිනිස් ජාවාරම්වලට සම්බන්ධ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ වන විට ලැබී ඇති තොරතුරු මත වැටලීම් අඛණ්ඩ ව සිදු කරමින් පවතින බව කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි.
 
ඊයේ ගත් තීරණවලට අනුව එම වැටලීම් වඩාත් වේගවත් කිරීමටද, නියමිත අතර මිනිස් ජාවාරම් සහ මිනිස් වෙළදාම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද මෙහි දී වැඩිදුරටත් තීරණය කර ඇත.