ඩුබායි සිද්ධියේ ප්‍රධාන සැකකාරියගේ ඇප කැන්සල්

ඩුබායි සිද්ධියේ ප්‍රධාන සැකකාරියගේ ඇප කැන්සල්

නීතිවිරෝධි ලෙස සංචාරක වීසා මඟින් ගෘහ සේවිකාවන් ඩුබායි හරහා ඕමාන් රටේ ගණිකා වෘත්තිය සඳහා අලෙවි කිරීමේ චෝදනාවට සම්බන්ධ බව කියන ඇප මත සිටි ප්‍රධාන සැකකාරියක වන ආශා දිසානායක යන ‍අයගේ ඇප අවලංගු කර ඇය ඇතුළු සැකකරුවන් හයදෙනා මේ මස 13 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීම‍ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ විසින් නියෝග කර තිබේ.

 
අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත්තේ ඊයේ (01) දිනයේය.
 
සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලට ආශා දිසානායක යන අය ඇප මත සිටියදී බලපෑම් ඇති විය හැකි බවත්, වින්දිත කාන්තාවන්ට හා සාක්කිකරුවන්ටද බලපැම් ඇති විය හැකි බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පවසා තිබේ.
 
ඒ් අනුව මෙම කරුණු දැක්වීම් පිළිගත් මහේස්ත්‍රාත්වරයා අදාළ සැකකාරිය  ඇතුළු සැකකරුවන් හයදෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.
 
සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා රැකවරණ නිවස්නයෙහි තුන්වැනි ලේකම් වන එදිරිචාරිගේ කුෂාන් නමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බන්ධනාගාරය තුළදී ප්‍රකාශයක් සටහන් කර ගත් බවත්, 2021/8/4 සිට 2022/11/20 දක්වා තමා එකී තනතුර දැරූ අතර, ආශා දිසානායක එම රටට කාන්තාවන් ගෙන්වා කරනු ලැබූ වංචාවන‍්ට අදාළ පරීක්ෂණ කොට එම අය රටින් පිටුවහල් කිරීමට කටයුතු කළ බවට ඔහු ප්‍රකාශයක් දී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
 
මීට අමතරව උෟරගස් හංදිය පදිංචි කාන්තාවක විසින් ඕමාන් රටේ සිටින සිය මව මෙරටට ගෙන්වා ගැනීම සඳහා ලක්ෂ දෙකක මුදලක් ආශා දිසානායක ඉල්ලා සිටි බවත්, එම මුදල ඇයගේ ඉල්ලීම පරිදි 2022/3/2 බැංකු ගිණුමක තැන්පත් කළ බවටද තොරතුරු අනාවරණය කර තිබේ.
 
මේ අනුව සැකකාරියගේ ගිණුම් සම්බන්ධයෙන් පෞද්ගලික බැංකු හතක බැංකු සාමාන්‍යාධිකාරිවරුන් වෙත නියෝග ලබා දෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. 
 
තවද මෙය සංකීර්ණ විමර්ශනයක් බවත් ඉකුත් 21 දා ආශා දිසානායක යන අය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ඇප දී ඇති බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කාන්තාවන්ගේ මෝඩකම නිසා මෙවැනි වංචාකාරයන්ට රැවටී මුළා වී ඇති බවත් ඇප කොන්දේසිද සපුරා නැති ඇය ඇප පනතේ 14 වැනි වගන්ති ප්‍රකාරව ඇප අවලංගු කොට රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් සඳහන් ක‍ළේ ඇය භාෂා පරිවර්තක සේවය පමණක් කළ බවත් විවිධ පුද්ගලයන්ගේ මාධ්‍ය සංදර්ශන මේ සිදුවීම මවා පාන බවය.
 
කෙසේ වෙතත්, සැකකරුවන් හයදෙනා තමාට අයත් කාර්ය පමණක් කළේ නම් මෙවැනි චෝදනාවක් නොනැඟෙන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මේ විමර්ශනයේ සත්‍ය දැන ගැනීම සඳහා විමර්ශනයට කාලයක් දිය යුතු බව සඳහන් කළේය.
 
රාමයියා සීලන් නමැති තුන්වැනි සැකකරු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව පැවසූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු ඉපැයූ මුදල් කවර කාරණයක් සඳහා යොදා ගත්තේ ද? යන්න පිළිබඳ විමර්ශනය කරන බව අධිකරණයට දන්වා සිටින ලදී.
 
ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික බමුනන්දර මහතා පැවසුවේ සංචාරක වීසා මඟින් විදේශගත වන බව වින්දිත කාන්තාවන් දැන සිටි බවත්, ඔවුන් ගෘ‍හ සේවය සඳහා අදාළ නිවෙස් වෙත ගොස් මාස 6න් පසුව පලා ඇවිත් සුරක්ෂා නිවස්නයට පැමිණි පසු එම නිවස්න තුළදී සිදු වූ මේ දූෂණ සම්බන්ධයෙන් සිය සේවාදායකයාට වගකීමක් නැති බවය.
 
අජිත් කුමාර සමරකෝන් නමැති සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් සඳහන් ක‍රනු ලැබුවේ සිය සේවාදායකයා තමන්ට විරුද්ධව මෙවැනි විමර්ශනයක් සිදු වන බව නොදත් බවත් මිතුරකු මඟින් දැනගෙන මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර වූ බවය.
 
තවුෆික් මොහොමඩ් නමැති සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා සඳහන් කරනු ලැබුවේ උප එ්ජන්සිකරුවකු ලෙස සිටින සිය සේවාදායකයා කාන්තාවන් විදේශගත කිරීම සඳහා එ්ජන්සි වෙත යොමු කිරීම පමණක් කළ බවය.
 
බාලක්‍රිෂ්ණන් කොනේශ්වරන් නමැති සැකකරු වෙනුවෙන් පෙනී සිටි අජිත් පතිරණ මහතා පැවසුවේ රටට විදේශ විනිමය ගෙනෙන ලයිසන් සහිත එ්ජන්සි වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් යම් පුද්ගලයන්ගේ අවශ්‍යතාව අනුව මෙසේ නඩු පැවරීම් කරන බවය.
 
සංචාරක වීසා මඟින් විදේශගත වීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුද්ගලයන්ට අවසර දී රක්ෂණය දී මාස තුනකට පුද්ගලයන් විදේශගත කරන බවත් ඔවුන්ගේ වගකීම කිසිවකුත් නොගන්නා බවටද චෝදනා කළේය.