රට හැර යන්න 56%ක් කැමැතියි!

  රට හැර යන්න 56%ක් කැමැතියි!
ආර්ථික අර්බුදයෙන් පිළියමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීමට රජය කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙරට ජනතාවගෙන් 60.5%ක ප්‍රතිශතයක් එකඟතාවය පළ කර ඇති බව නවතම සමීක්ෂණයකින් අනාවරණ වී තිබේ.
 
ඔක්තෝම්බර් 21 වැනි දා සිට 31 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 25ක පුද්ගලයින් දහසක නියැදියක් යොදා ගනිමින් අදාළ සමීක්ෂණය සිදු කර ඇත්තේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක් විසිනි. 
 
එහිදී අදාළ සමීක්ෂණයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම පිළිබඳව 60.5% ක පිරිසක් එකඟතාව පළ කර ඇති අතර, එලෙස කැමැත්ත පළ කළ බහුතරය වයස අවුරුදු 18ත්, 29ත් අතර තරුණ පිරිස් බව වාර්තා වේ.
 
එමෙන්ම, 24% ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබා නොගත යුතු බව ප්‍රකාශ කර තිබේ. 
 
එසේම  මෙරට ආර්ථික අර්බුදයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් විසඳුම් ලබාගත හැකි බවට යම්තාක් දුරකට විශ්වාසය පළ කරන පිරිස 55.3%ක් වන අතර, එසේ විසඳුම් ලබාගත හැකි බවට විශ්වාස නොකරන සංඛ්‍යාව 22.6% ක් බැව් එම වාර්තාවල දැක්වෙයි.
 
 
අනෙක් අතට සියයට 56.8 රට තුළ පවතින තත්ත්වය හමුවේ විදේශ ගතවීම හෝ වෙනත් රටක ජීවත්වීම සඳහා අවස්ථාවක් ලදහොත් ඊට කැමැත්තෙන් පසුවන බවට ප්‍රකාශ කර තිබේ. 
 

අවුරුදු 18 ත්, 29 ත් අතර වයසේ පසුවන පිරිසෙන් 77.2% ක් එලෙස ප්‍රකාශ කර ඇති අතර, අවුරුදු 30ට වැඩි පිරිසෙන් 45.4%ක් එලෙස විදේශගත වීමට කැමැත්තෙන් පසු වන බව අනාවරණය වී ඇත.