විගමනික ප්‍රජාවට තම සේවාවන් සැපයීම විධිමත්ව හා ඉතා වේගවත්ව සිදුකළ යුතුයි - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

විගමනික ප්‍රජාවට තම සේවාවන් සැපයීම විධිමත්ව හා ඉතා වේගවත්ව සිදුකළ යුතුයි - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය

කම්කරු අමාත්‍යාංශයට අනුබද්ධිතව දීප ව්‍යාප්තව පවතින ප්‍රාදේශීය කාර්යාල වෙත අනුයුක්ත කර ඇති විදේශ රැකියා සංවර්ධන නිළධාරීන් අතුරින් බස්නාහිර පළාතේ කළුතර, ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්කවල සේවයේ නියුතු සංවර්ධන නිළධාරීන් අමතා, විගමනික ප්‍රජාවගේ හා පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව, සුභසාධනය හා ජීවන මට්ටම ඉහළ නැංවීම සඳහා ඔවුන්හට පවරා ඇති රාජකාරි කටයුතු විධිමත්ව හා වේගවත්ව සිදුකිරිම පිළිබඳව කරුණු අවධාරණය කරමින් ඔවුන්ගේ කාර්ය කටයුතු පිළිබඳව ප්‍රගතිය විමසීමේ සාකච්ඡාවක් 2022.12.01 වන දින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර හා විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍යඅමාත්‍ය ජගත් පුෂ්පකුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී පවත්වන ලදී.

විදේශ රැකියාවන් සඳහා යොමුවන විගමණික ප්‍රජාවගේ කාර්යාංශ ලියාපදිංචිය සිදුකිරිම, විදේශ රැකියාවට සුදුසු වෘත්තිය පුහුණුව සැලසුම් කිරීම හා ක්‍රියාත්මක කිරිම, විදේශ රැකියා නියෝජිතායතනවල කාර්ය කටයුතු නියාමනය කිරීම ආදී මූලික කටයුතු විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිදුකරනු ලබන අතර, එසේ විදේශ ගතවන විගමණිකයින් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ආරක්ෂාව, සුභසාධනය හා ඔවුන්ගේ පවුලේ ජීවන මට්ටම ඉහළ නංවාලීම සඳහා අමාත්‍යාංශය විසින් සකස් කර ඇති, වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම යොදවා ඇති සංවර්ධන නිළධාරීන්ගේ වගකීම වන බැවින්, එම රාජකාරි කටයුතු ඉතා කැපවීමෙන් හා වේගවත්ව සිදුකිරීම සඳහා අවශ්‍ය උපදෙස් අමාත්‍යවරයා විසින් මෙහිදී සංවර්ධන නිළධාරීන්හට ලබාදෙන ලදී.

විශේෂයෙන්ම මෙහිදී තම ප්‍රාදේශීය බල සීමාවන්ට යටත්ව වෙසෙන මහජනතාව, නීත්‍යානුකූල ලෙස විදේශ රැකියා සඳහා යොමුකිරීම, මිනිස් ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා වී විදේශ ගතකිරීම, විදේශ ගතවූවන්ගේ පවුලේ සාමාජිකයින්ගේ රැකවරණ කාර්යභාරය, ඔවුන්ගේ දුදරුවන්ගේ මූලික, ද්විතීක අධ්‍යාපන කටයුතු අධීක්ෂණය කිරීම හා වෘත්තිය පුහුණු වැඩසටහන් සඳහා දරුවන් යොමුකිරිම, විදෙස් ශ්‍රමිකයින් රැකියාවේ යෙදෙන අවස්ථාවේදී මුහුණපාන ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබාදීම, රැකියාව අවසන් කර යළි පැමිණි අයගේ පවුල්වල සුභසිද්ධිය සඳහා අවශ්‍ය ව්‍යාපාරික දැනුම, මූල්‍ය කළමනාකරණ දැනුම සඳහා මගපෙන්වීම ආදී වශයෙන් ඔවුන්ගේ පවුල් රැකබලාගැනීමේ වගකීම් රාශියක් එම නිළධාරීන්ට පැවරෙන බවද අමාත්‍යවරයා පැවසීය. මෙසේ බිම් මට්ටමේ රාජකාරි කටයුතු සිදුකිරීමේදී නිළධාරීන්ට ලද අත්දැකීම් අනුව, ක්ෂේත්‍රයට අදාල ප්‍රතිපත්ති සම්පාදකයන් සමග එම අදහස් හුවමාරු කර ගැනීමටද උපදෙස් ලබාදෙන ලදී.

මේ සඳහා අමාත්‍යාංශය හා කාර්යාංශය විසින් සාකච්ඡා කර ඇති සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී, පවතින ගැටළු හා නව යෝජනා පිළිබඳව කරුණු විමසීමද අමාත්‍යවරුන් විසින් සිදුකරන ලද අතර, ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා අමාත්‍යාංශය, කාර්යාංශය හා සංවර්ධන නිළධාරීන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක්ද මෙහිදී පත්කරන ලදී.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආර්.පී.ඒ.විමලවීර මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිළධාරීන්ද, කාර්යාංශ සභාපති මහේන්ද්‍ර කුමාරසිංහ මහතා ඇතුළු කාර්යාංශයේ ඉහළ කළමනාකාරීත්වය හා කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ද, ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 හා කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 14 ආවරණය වන පරිදි සංවර්ධන නිළධාරීන්ද සහභාගි විය.