ලෝක පාපන්දු කුසලානය යට වැළලුන සංක්‍රමණික කම්කරු ජීවිත

ලෝක පාපන්දු කුසලානය යට වැළලුන සංක්‍රමණික කම්කරු ජීවිත

තමන්ගේ අවසාන ලෝක කුසලානයේදී මවු රටට ජයග්‍රහණය අත්කර දුන්න ලියෝනෙල් මෙසී ගැන අද මුළු ලෝකෙම කතා කරනවා. ලංකාවෙත් ෆේස්බුක් එක මෙසී ගෙන් පිරිලා.

ජගත් කුසලානය දිනාගන්න බැරිවුණත් අන්තිම මොහොත දක්වාම මෙසී ට දරුණු අභියෝගයක් වුණ "ම්බප්පේ" ගැනත් ලෝකෙම කතා කරනවා.

සාමාන්‍යයෙන් ක්‍රිකට් ආගමක් තරමට අදහන ලංකාවෙත් පාපන්දු ගැන මේ වගේ උන්මාදයක් දකින්න ලැබීම සතුටක්.

ආජන්ටිනාවත්, ලංකාවත් ඇතුළු ලෝකේ පුරාම කෝටි ගාණක් මිනිස්සු එදා වෙලා කන්නවත් නැතිව දැවැන්ත ආර්ථික අර්බුදයක වේලිලා ඉන්න වෙලාවක දුප්පත්, පොහොසත් භේදයක් නැතුව ඒ මිනිස්සුන්ට මොහොතක හරි ආශ්වාදයක් දීම ගැන මෙසී, ම්බප්පේ වගේම හැම ක්‍රීඩකයෙකුටම ප්‍රණාමය.

කොහොමවුණත් කෝටි සංඛ්‍යාත පාපන්දු ලෝලීන්ට මේ උන්මාදය ගෙන එන්න 6500 කට වැඩි සංක්‍රමණික සේවකයෝ කටාරයේදී ජීවිත පූජා කළා කියල ඔබ දන්නවද?

එයින් වැඩි දෙනා පාකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයින්.

ඒ අතරින් 557 දෙනෙක් ශ්‍රී ලාංකිකයින්.

කටාරය ලෝක කුසලානයේ අනුග්‍රාහක රට විදියට තෝරාගත්තේ 2010 දෙසැම්බරයේදී. එදා ඉඳල කටාරය ක්‍රීඩාංගන, මහාමාර්ග ඇතුළු යටිතල පහසුකම් ඉදිකිරීමේ දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කළා.

අලුත්ම ගුවන් තොටුපොළක් පමණක් නොවෙයි ජගත් කුසලානය වෙනුවෙන් කටාරය විශේෂ නගරයක් අලුතෙන්ම නිර්මාණය කළා.

නිල දත්ත යොදාගෙන The Guardian පුවත්පත කරපු ගවේෂණයකට අනුව, කටාරයට ලෝක කුසලානය ලැබීමෙන් අනතුරුව ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල සේවකයින් 12 දෙනෙක් සෑම සතියකම වගේ මරුමුවට පත්වෙලා තියෙනවා.

2021 පෙබරවාරි මාසේ ගාඩියන් පුවත්පත පළ කළ වාර්තාවකට අනුව, අයහපත් සේවා පහසුකම්, දරාගත නොහැකි දරුණු උණුසුම පමණක් නොවෙයි විදුලිසැර වැදීම වගේ හදිසි අනතුරු නිසා 2020 වනවිට සංක්‍රමණික සේවකයින් 5927 ක් මියගිහින් තිබුන.

ඒ හැරුන විට 2010 සිට 2020 දක්වා තවත් පාකිස්තාන සේවකයින් 824 ක් මියගොස් තිබුන කියල කටාරයේ පාකිස්තාන තානාපති කාර්යාලය වාර්තා කරලා තිබුන.

සමහරු සිය දිවි නසාගෙන තිබුණ.

මේ වාර්තාව පලවෙන අවස්තාව වනවිටත් බොහෝ ඉදිකිරීම් තිබුණේ මූලික අවස්ථාවේ. ජනමාධ්‍ය සහ Human Rights Watch වගේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මේ විදියට සත්‍යය හෙළිදරවු කළත් සේවකයින්ට පහසුකම් දියුණු කරන්නවත්, සේවා ස්ථානවල ආරක්ෂාව තරකරන්නවත් කටාර් බලධාරීන් කටයුතු කළේ නැහැ.

ඒ වෙනුවට ඔවුන් කළේ, ලංකාවේදී රාජපක්ෂලා/ වීරවංශලා කරනවා වගේ, කටාරයට විරුද්ධ "ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්" ගැන කන්කෙඳිරි ගෑම. අනෙක FIFA ජගත් පාපන්දු බලධාරීන් පවා එතෙන්දි සේවකයින්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී හිටියේ නැහැ.

කටාරය මේ සේවකයින් සම්බන්ධයෙන් නිසි මරණ පරීක්ෂණයක් පවත්වල නැහැ විතරක් නොවෙයි, Amnesty International සංවිධානය කියන විදියට ඒ මරණ වාර්තා කිරීමවත් ඔවුන් කිසිම විනිවිද පෙනෙන සුළු ආකාරයකින් කරලා නැහැ.

අනික ගාඩියන් පුවත්පත මේ ගණනය කිරීම කළේ ඉන්දියාව, ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, පාකිස්තානය සහ නේපාලයේ ආණ්ඩුවල නිල සංඛ්‍යාලේඛනවලින්. නමුත් ඒ රටවල් හැරුණු විට පිලිපීනය සහ යේමනය ඇතුළු තවත් බොහෝ රටවලිනුත් ඒ වෙලාවේ කටාරයට සේවකයින් ඇදී ආව. ඒ නිසා ජගත් කුසලානය පැවැත්වෙන අවස්තාව වෙනකොට මියගිය සේවක සංඛ්‍යාව 6500 කට වඩා පැහැදිලිවම ඉතා ඉහලයි.

මේ සියලු දෙනාම මියගියේ ලෝක කුසලානයට සම්බන්ධ ඉදිකිරීම් නිසා කියල සනාථ කරන්න පැහැදිලි සාක්ෂි නැතත්, විශ්ලේෂකයින් උපුටා දක්වමින් ගාඩියන් පුවත්පත පෙන්වා දෙන්නේ 2011 න පසුව සංක්‍රමණික සේවකයින් අති විශාල පිරිසක් කටාරයට ආවේ ලෝක කුසලානයට අදාළ ඉදිකිරීම් වෙනුවෙන් කියල.

ඒ නිසා ලෝක කුසලානයේ ආශ්වාදය විඳින අතරේම, මෙසී ගේත්, ම්බප්පේ ගේත් ක්‍රීඩා කෞශල්‍යයෙන් මෝහනය වෙන අතරේම, ඒ ආශ්වාදය යට වැලලුන  දහස් ගණනක් කම්කරු ජීවිත ගැනත් අමතක නොකළ යුතුයි කියල මට හිතුන.

 

saroj pathirana

| සරෝජ් පතිරණ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යෙව්දී