ඩුබායි සුද්දා අත්අඩංගුවට

ඩුබායි සුද්දා අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නීත්‍යානුකූල නොවන පරිදි විදේශ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් උනන්දු කරවීමේ හා යොමුකරවීමේ තොරතුරු පිළිබඳව දැනුම් දෙමින් ප්‍රචාරනයන් සිදුකිරීම හේතුවෙන්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතේ විධි විධානයන් කඩකරන ලද පුද්ගලයෙකු වශයෙන් රංතැටිගේ නිශ්ශංක ප්‍රියදර්ශන යන අය කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින්  (2022.12.28) දින අත්අඩංගුවට ගන්නා ලදී.

ශ්‍රි ලංකාවෙන් පිටත සේවා නියුක්තිය සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස තැනැත්තන්ගෙන් ඉල්ලමින්, බලපත්‍රලත් රැකියා නියෝජිතායතනයන් හා වෙනත් යම් තැනැත්තෙකු විසින් ඉදිරිපත් කරන වෙළඳ දැන්වීමක් හෝ දැන්වීමක් කිසියම් තැනැත්තෙකු, යම් මාධ්‍යයක මුද්‍රණය කිරීම හෝ පළකිරීම සිදු නොකළ යුතුය යන කාර්යාංශ නීතිය කඩකිරීමට කටයුතු කළ මොහු අත්අඩංගුවට ගනු ලැබූ විමර්ශන නිළධාරීන් විසින්, අද දිනම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව ගරු අධිකරණය විසින් මේ පිළිබඳව කරුණු විමර්ශනය කරමින් එම තැනැත්තා විසින් සිදුකරන ලද වරද අනුව දඩුවම් නියම කර ඇත. ගරු අධිකරණයේ තීරණය පරිදි රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අදාළ තැනැත්තා නිදහස් කර ඇති අතර, එම නඩුව 2023.03.17 දින යළි කැඳවීමට නියමිතව ඇත.