ඉතාලියේ පළාත් පාලන ඡන්දයට ශ්‍රී ලාංකික කාන්තාවක්

ඉතාලියේ පළාත් පාලන ඡන්දයට ශ්‍රී ලාංකික කාන්තාවක්

පෙබරවාරි 12 සහ 13 දෙදින ඉතාලියේ පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණයට ශ්‍රී ලාංකික කාන්තාවක් වන ධම්මිකා චන්ද්‍රසේකර ද තරඟ කරනු ලබයි.

ඒ, ඉතාලියේ ලොම්බර්දී ( lombardy) පළාත නියෝජනය කරමිනි.

මෙම ලාංකික කාන්තාව ලොම්බර්දී පළාතේ විදේශීය ප්‍රජාව නියෝජනය කිරීම සඳහා අපේක්ෂත්වය ලබාගෙන ඇත්තේ Partito Democratico පක්ෂයෙනි.

මෙවර ඉතාලිය පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී එම පළාතේ ජීවත් වන විදේශිකයන් නියෝජනය කිරීම සඳහා වරම් ලැබූ එකම අපේක්ෂිකාව ඇය යි.

සිය ජයග්‍රහණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට මෙන්ම ශ්‍රී ලංකාවටද සහය දැක්වීම සිය අපේක්ෂාව බවද ඇය පැවසුවාය.

දරුවන් තුන් දෙනෙකුගේ මවක් වන 57 හැවිරිදි ධම්මිකා චන්ද්‍රසේකරගේ උපන්ගම කඳාන ප්‍රදේශයයි.

සාමන්‍ය පෙළ විභාගය දක්වා කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයෙන්ද උසස් පෙළ විභාගය කදාන මෙසිනොඩ් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හැදෑරූ ඇය ඉතාලියට ගොස් ඇත්තේ 1984 වසරේදීය.

මීට 38 වසරකට පෙර ඉතාලියට යන විට ඇයට අවුරුදු 19 කි.

රෝමය, නාපෝලි වෙරෝනා, මිලානෝ  නගරවල ජීවත් වෙමින් දුෂ්කර රැකියාවල නිරතව අධ්‍යාපනය හැදෑරූ ඇය සමාජය සේවා වෙනුවෙන් ද විශාල කැපවීමක් කරනු ලැබුවෙකි.

ධම්මිකා චන්ද්‍රසේකර නම Partito Democratico පක්ෂය වෙත යෝජනාකර ඇත්තේ  මිලානෝ නගරය වසර හයක පමණ කාලය පුරා විදේශිකයන් වෙනුවෙන් කැප වී සිටින සමාජ සේවා ආයතනයක් වූ Centro community dello Sri lanka  ආයතනයයි.

ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරියේ දී ද තමන් පෙනී සිටින බව ධම්මිකා චන්ද්‍රසේකර පැවසිය.

(ද ලීඩර්)