පුහුණු වෑද්දුම් ශිල්පීන් සඳහා කොරියාවේ රැකියා අවස්ථා

පුහුණු වෑද්දුම් ශිල්පීන් සඳහා කොරියාවේ රැකියා අවස්ථා

E-7 වීසා කාණ්ඩය සඳහා සුදුසුකම් සපුරන වෑද්දුම් ශිල්පීන් හැකි තරම් කොරියාවේ රැකියා ගත කිරීමට කඩිනමින් අවශ්‍ය පියවර ගන්නා ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ E-7 වීසා කාණ්ඩය යටතේ කොරියානු රැකියා සඳහා වෑද්දුම් ශිල්පීන් කොරියාවේ රැකියා ගත කරවීම සම්බන්ධයෙන් අද පැවැති විශේෂ සාකච්ඡාවේ දී, E-7 වීසා කාණ්ඩය යටතේ පුහුණු වෑද්දුම් ශිල්පීන් සඳහා රැකියා අවස්ථා ඕනෑ තරම් ප්‍රමාණයක් තමන් සතු බවත්, එබැවින් සුදුසුකම් සහිත ව යොමු කෙරෙන වෑද්දුම් ශිල්පීන් ඕනෑ ම ප්‍රමාණයක් වෙත රැකියා ලබා දිය හැකි බවත්, කොරියාවේ බඳවා ගැනීමේ ආයතනයේ විශේෂ නියෝජිතයන් පිරිසක් පැමිණ අමාත්‍යවරයා හමුවී ප්‍රකාශ කළ අවස්ථාවේ දී ය.

එහි දී E-7 වීසා කාණ්ඩය යටතේ ශ්‍රමිකයන් වැඩි ප්‍රමාණයක් බඳවා ගැනීමටත්, ඒ සඳහා අවශ්‍ය පුහුණුව ලබා දෙන්නේ කෙසේ ද යන්න සම්බන්ධයෙනුත් සාකච්ඡා කර තිබේ.

ඒ අනුව, කොරියානු නියෝජිත පිරිසේ විශේෂ ඉල්ලීම වූයේ ඔවුන්ට හැකි තරම් E-7 වීසා කාණ්ඩය යටතේ සුදුසුකම් සපුරා ඇති පුහුණු වෑද්දුම් ශිල්පීන් ලබා දෙන ලෙසයි. එමෙන්ම, එලෙස යොමු කරන ඕනෑ ම පුහුණු වෘත්තීය වෑද්දුම් ශිල්පීන් ප්‍රමාණයකට ලබා දීමට තරම් රැකියා තමන් සතු ව පවතින බවත් ඔවුන් විශේෂයෙන් ම සඳහන් කරන ලදී.