ඕස්ට්‍රේලියාවේ රැකියා සිහින පෙන්වූ කතුන් දෙකක් අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේ රැකියා සිහින පෙන්වූ කතුන් දෙකක් අත්අඩංගුවට

ඕස්ට්‍රේලියාවේ කර්මාන්ත ශාලාවක රැකියා ලබාදෙන බව පවසා බදුල්ල ප්‍රදේශයේ තරුණයින්ගෙන් මුදල් ලබාගත් බදුල්ල, දෙමෝදර ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන නිළධාරීන් විසින් (2023.05.26) දින අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකාරියන් දෙදෙනා ඕස්ට්‍රේලියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 18ක මුදලක් වංචාකර ඇතැයි පැමිණිලි 4 ක් කාර්යාංශය වෙත ලැබී තිබිණි. ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරින් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රැකියා සඳහා බඳවාගැනීමේ චෝදනාව මත බදුල්ල, දෙමෝදරදී මෙම කාන්තාවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියන් දෙදෙනා මේ වන විට බදුල්ල පොලිස් ස්ථානයේ රඳවා තබා ඇති අතර, හෙට දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. අදාළ සැකකාරියන්ට අමතරව මෙම විදේශ රැකියා වංචාව හා සම්බන්ධ තවත් පුද්ගලයෙකු පිළිබඳවද පැමිණිලි ලැබී තිබේ. එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය විමර්ශන කටයුතු මේ වන විට සිදුකෙරෙමින් පවතී.

මෙම අත්අඩංගුවට ගැනීම් සඳහා විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු කපිල කරුණාරත්න, විමර්ශන නිළධාරි එම්.කේ.සුමනවීර ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.