සෞදියේ දුක් විඳින බිරිය ගෙන්වා දෙන්නැයි සැමියෙකුගෙන් ඉල්ලීමක්

 සෞදියේ දුක් විඳින බිරිය ගෙන්වා දෙන්නැයි සැමියෙකුගෙන් ඉල්ලීමක්
ගෘහ සේවය සඳහා සවුදි අරාබියට පිටත්ව ගොස් සිටින බිරිය ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් සෙල්ලකතරගම කොහොඹ දිගාන පදිංචිව සිටින පී. චමිල්සිරි නන්ද නමැති සිව් දරු පියා වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටියි.
 
හෙතෙම මෙසේ පවසයි.
 
"මගේ බිරිය රට ගියේ මුහුණදෙන්න අමාරු  ආර්ථික ගැටලුවෙන් මිදෙන්න. ඒ්ත් බිරිය සවුදි අරාබියට ගියත් තවමත් රස්සාවක් ලැබී නැහැ. එයා එහේ අපා දුක් විඳිනවා. ඒ නිසා එයාව ගෙනත් දෙන්න කියා මම රජයෙන් ඉල්ලා සිටිනවා." 
 
ඔහුගේ බිරිය වන එච්.එම්. දිල්රුක්ෂි මහත්මිය පසුගිය අප්‍රේල් මාසයේ කොළඹ එ්ජන්සියක ආධාරයෙන් සවුදි අරාබියේ රැකියාවකට ගොස් ඇති අතර  මේ වන විටත් ඇයට රැකියාවක් නොලැබුණු බව විඩියෝවක් මඟින් ඇය සිය සැමියා වෙත පණිවිඩයක් එවා දන්වා තිබේ.
 
. ඇය මේ වන විට සවුදි අරාබියේ ඒජන්සිකරුවන්ට අයත් කාමරයක සිර කර සිටින බවත්, ඒ් නිසා වහාම තමන්ව බේරා ගන්නා ලෙසත් ඉල්ලමින් ඇය විසින් සැමියාට වීඩියෝ පටය එවා ඇත.
 
, එහි සිටින කාන්තාවක් ලාංකේය කාන්තාවන් ආරබි පුද්ගලයන් වෙත අලෙවි කරන බවත්, ඔවුන් විවිධ ස්ථාන වෙත කාන්තාවන් රැගෙන නැවත මෙම නිවෙසට රැගෙනවිත් දමන බවත්, තවත් කාන්තාවන් 10 දෙනකු පමණ මෙම කාමරය තුළ සිටින බවත්, හැකි ඉක්මනින් තමන් බේරා ගන්නා ලෙසත් සිය සැමියා වෙත පණිවිඩයක් එවමින් ඇය වැඩිදුරටත් කියා ඇත.
 
මේ වන විට සිය මව විදෙස්ගත වීම මත සෙල්ලකතරගම මහා විදුහලේ ඉගෙනුම ලැබු ගැහැනු දරුවන් තිදෙනකුට පාසල් ගමන නවතා දැමීමට සිදුව ඇති බවත්,  දරු සිව් දෙනා සිය පියා සමඟ කුලී නිවෙසක ජීවත් වන බවත්,  දරුවන්ගෙන් ගැහැනු දරුවන් තිදෙනා 13, 11 සහ 08 වයස්වල පසුවන බවත්, පිරිමි දරුවා 05 හැවිරිදි වියේ පසුවන බවත් වාර්තා වේ. 
 
 
"මට රස්සාවක් කරන්න යන්න විදිහක් නෑ දරුවො බලා ගන්න කෙනෙක් නැති නිසා. පරිවාස නිලධාරීන් ආවාට මම කැමති නෑ දරුවො පරිවාසෙට දෙන්න. මම ඉල්ලන්නේ බිරිය නැවත ලංකාවට ගෙන්වා දෙන ලෙසයි." අගතියට පත් සැමියා වැඩිදුරටත් කියා සිටියි.
 
මෙම දුක්මුසු සිදුවීම සම්බන්ධයෙන්  විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ද දුරකථනය ඔස්සේ පැමිණිල්ලක් කළ ද, එහිදී ඔවුන් පවසා ඇත්තේ ආයතනය වෙත පැමිණ පැමිණිලි කරන ලෙස යයි සැමියා දන්වා සිටියි.
 
(ප්‍රාදේශීය වාර්තාකරු කේ.ඩී. දේවප්‍රිය වාර්තා කළ තොරතුරු ඇසුරිණි.)