කම්කරු සංක්‍රමණිකයන් "සංක්‍රමණයේ සංවර්ධන හවුල්කරුවන්" ලෙස හැඳින්වීම

කම්කරු සංක්‍රමණිකයන් "සංක්‍රමණයේ සංවර්ධන හවුල්කරුවන්" ලෙස හැඳින්වීම

පසුබිම

පවුල් ප්‍රේෂණ පිළිබඳ ජාත්‍යන්තර දිනය (IDFR) සෑම වසරකම ජුනි 16 දින සමරනු ලැබේ. IDFR විසින් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල පවුල් සාමාජිකයන් මිලියන 800කට අධික සංඛ්‍යාවක් වෙත මුදල් යවන මිලියන 200කට අධික සංක්‍රමණික සේවකයන්ගේ තීරණාත්මක දායකත්වය පිළිගනු ලබයි. ප්‍රේෂණ යනු සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවන මාර්ගයක් වන අතර ඒවා මූලික ගෘහ අවශ්‍යතා, අධ්‍යාපනය සහ ව්‍යවසායකත්වය වෙනුවෙන් කළ යුතු  වියදම් සඳහා යොදා ගැනේ. තනි පුද්ගල ප්‍රේෂණ සාපේක්ෂව කුඩා විය හැකි අතර (සාමාන්‍ය ප්‍රේෂණ මසකට ඇමෙරිකානු  ඩොලර්200- 300), සමුච්ඡිතව ගත් කළ  මෙම ගලනයන් ගෝලීය නිල සංවර්ධන ආධාර (ODA) මෙන්  තුන් ගුණයකින් ඉහළ වේ. පසුගිය වසර 20 තුළ ප්‍රේෂණ ප්‍රවාහය පස් ගුණයකින් වැඩි වී තිබේ. ආර්ථික පසුබෑම්වලදී පවා, සංක්‍රමණිකයන් ආපසු ඔවුන්ගේ පවුල් වෙත ගෙන්විමටත්, ණය බරින් නිදහස්ව සිටීමට උපකාර කිරීමටත්  ඔවුන් බැඳී සිටියදී ද  ප්‍රේෂණ ගලා ඒම අඛණ්ඩව සිදුවිය.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා අනුව, 202O වර්ෂයේ දී මැදපෙරදිගින් පමණක් රටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකනානු ඩොලර් මිලියන 680,892 වූ  අතර COVID 19 සහ පසුව ඇති වූ ආර්ථික අර්බුදය තුළ උච්චාවචනය වී 2022 න් පසු තවත් වර්ධනය වී ඇත.

සංක්‍රමණික ශ්‍රමය පිළිගැනීම

ශ්‍රී ලංකාව සඳහා, සංක්‍රමණිකයන් විසින් සපයනු ලබන දායකත්වය අගය කරන අදාළ සියලුම පාර්ශවකරුවන් දැනුවත් කිරීම සහ රටට  අඛණ්ඩව ප්‍රතිලාභ ලැබීම සහතික කිරීම සඳහා සැමරිය යුතු වැදගත් දිනයක් ලෙස මෙම දිනය සැලකිය හැකිය.ප්‍රේෂණවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට පවුල්වලට නිසි මග පෙන්වීමක් ලබාදීමත්, ප්‍රේෂණ නිසි මාර්ග ඔස්සේ එවන බවට සහතික වීමත් එහිදී වැදගත් වේ.

මැණික්, ඇඟලුම් සහ කෘෂිකාර්මික නිෂ්පාදන වැනි වෙනත්  අපනයන හරහා සහ සංචාරක ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවට විදේශ ප්‍රේෂණ ලැබේ. එසේ වුව ද, ශ්‍රම සංක්‍රමණයෙන් ලැබෙන ප්‍රේෂණ ඊට වෙනස් ය. වෙනස් වැඩ පරිසරයක ජීවත් වීමට හා වැඩ කිරීමට බල කෙරෙමින්  පවුලේ සහ දරුවන්ගේ අනාගත සුභසාධනය තනි මාපියෙකුට හෝ ඥාතියෙකුට මුළුමනින් ම පැවරෙන ක්‍රමය තුළ ශ්‍රම සංක්‍රමණිකයන්ට තම පවුල සමඟ  ගත කරන කාලය අහිමිවේ. බොහෝ අවස්ථාවලදී  ඔවුන් බාහිර අභියෝග හමුවේ  'අසරණ' සහ 'අවදානම් සහගත' වේ. ගෘහ සේවිකාවන් සම්බන්ධයෙන් මෙය වඩාත් සත්‍යයකි. ඇතැම්විට, රටවල්වලට අනන්‍ය වූ කම්කරු නීති මගින් පවා සේවා කොන්දේසි ආවරණය නොවේ. සංක්‍රමණික සේවකයා මරණයට පත් වුවහොත්  පවුලේ සාමාජිකයින්ට දේහය ලබා ගැනීමට සහ ඔවුන්ගේ සංස්කෘතීන්ට අනුව අවසාන කටයුතු ඉටු කිරීමට සිතාගත නොහැකි දුක්ඛිත තත්වයක් මතු කරයි. එබැවින් සංක්‍රමණික සේවකයා මුහුණ දෙන දුක වේදනාව සහ සිත් තැවුල, මනෝ සමාජයීය ප්‍රශ්න සහ දරන සමාජ පිරිවැය වෙනත් “ප්‍රේෂණ උපයන්නන්” සමඟ සැසඳිය නොහැකි තරමට වෙනස්වේ. . කම්කරු සංක්‍රමණිකයන් විසින් රට තුළට පොම්ප කරන ලද ප්‍රේෂණ මෙතරම් වෙනස් හා වටිනා වන්නේ එබැවිනි. තවත් වැදගත් කරුණක් නම්, “ප්‍රේෂණ එවන සංක්‍රමණිකයන්” අඩු ආදායම්ලාභී කණ්ඩායම්වල අය වන අතර, සංක්‍රමණිත රටට තම පවුල් රැගෙන යාමට ඔවුනට හැකියාවක් නොමැති වීමයි.

2023 අප්‍රේල් 14 වැනි දින විදේශ රැකියා අමාත්‍යවරයාගේ ඔහුගේ මුහුණු පොතෙහි තැබූ  FB පණිවිඩය වෙත යොමු වීම යෝග්‍ය වේ........ "ශ්‍රී ලාංකිකයන් වන අපට සිංහල දෙමළ අලුත් අවුරුද්ද නියමාකාරයෙන් සැමරීමට හැකි වි ඇත්තේ නියමිත මාර්ග ඔස්සේ ඩොලර් එවන ඔබ නිසා ය."

මෙය පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ශ්‍රමික සංක්‍රමණිකයන්ගේ ප්‍රේෂණ සඳහා රජය සහ අමාත්‍යාංශය ලබා දෙන වැදගත්කමයි.

රටෙහි ප්‍රධාන විදේශ ආදායම් මාර්ගය විදෙස්ගත ශ්‍රමිකයන් විසින් එවනු ලබන මුදල් ය යන්න අප විසින් නිරතුරුව ම අමතක කරනු ලබන කරුණකි. ශ්‍රී ලංකාවෙන් බැහැර සේවයේ යෙදී සිටින මිලියන 2ක් හෝ ඊට වැඩි සංක්‍රමණික ශ්‍රමිකයන් පිරිස ශ්‍රී ලංකාවේ විරැකියාව සහ ඌන සේවා නියුක්තිය අඩු කිරීමට අතිශයින් උපකාර කරයි.  පුද්ගලයන් සිය දහස් ගණනකට  රැකියා උත්පාදනය කර ඇති බඳවා ගැනීමේ අංශය ඇතුළුව රට තුළ “නව ව්‍යාපාර ආකෘතියක් සහිත රැකියා අංශයක්” ලෙස සංක්‍රමණික අංශය ද වර්ධනය වී ඇත. සංක්‍රමණය, ශ්‍රී ලංකාවට සංවර්ධනය සහ වෙළඳාමේ උන්නතිය සඳහා නව්‍ය සහ වැඩිදියුණු කළ කුසලතා ද හඳුන්වා දෙයි.

මේ සියල්ල කැ‌ටි කළ විට විශේෂ පිළිගැනීමක් සහිතව සැලකීමට තරම්  ශ්‍රම සංක්‍රමණිකයකු  සුදුසුකම් ලබයි.

වොයිස් ඔෆ් මයිග්‍රන්ට් (VOM) හි සාමාජිකයින් වන සංක්‍රමණික සමිති සංක්‍රමණික පවුල් සඳහා මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් සාර්ථකව පවත්වනු ලබන අතර එමඟින් සංක්‍රමණික පවුල්වලට ප්‍රේෂණවලින් පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට සහ ශ්‍රම සංක්‍රමණය සාර්ථක කර ගැනීමට ඉමහත් සහයෝගයක් ලබා දී ඇත.

තිරසාර බව

මෙම පසුබිම යටතේ ජාත්‍යන්තර පවුල් ප්‍රේෂණ දිනයේ වැදගත්කම අවධාරණය කිරීම සඳහා VOM විසින් ජාත්‍යන්තර පවුල් ප්‍රේෂණ දිනය තුළ ප්‍රචලිත කිරීම පිණිස පහත පාඨය නිර්මාණය කරනු ලැබ  ඇත.

විදෙස් ප්‍රේෂණ අපගේ ආර්ථික ජීවනාලියයි

සංක්‍රමණික සේවකයාගේ  දායකත්වය අගය කොට ගරු කරනු ලැබීමට හැකි වන සේ ඔවුන්ව “සංක්‍රමණයේ සංවර්ධන හවුල්කරුවන්”(Development Partners in Migration ) ලෙස පිළිගත යුතු බව VOM ද යෝජනා කරන අතර සංක්‍රමණික පවුල්වලින්  ලැබෙන ප්‍රේෂණ ඵලදායී ලෙස භාවිතා කිරීම සම්බන්ධ මැදිහත්වීම් වෙනුවෙන් පෙනී සිටීමට ද යෝජනා කරනු ලබයි.

VOM විශ්වාස කරන්නේ සියලුම සංක්‍රමණික ශ්‍රමිකයින්ට ඔවුන් පැමිණි පසු හෝ ඔවුන් සංක්‍රමණික රැකියාවේ යෙදී සිටියදී පවා තමන්ගේම ආදායම් උත්පාදන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට හැකි විය යුතු බවයි. මෙමගින් ඔවුන්ගේ ජීවනෝපාය තිරසාරව පවත්වාගෙන යාමට උපකාර වන අතර විදේශ රටක රැකියාවක නිරත වන සංක්‍රමණික ශ්‍රමිකයා විසින් කරනු ලබන පරිත්‍යාග සහ කැපකිරීම් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමටද හැකියාව ලැබෙනු ඇත. අවශ්‍ය අරමුදල් අනුග්‍රාහකත්වයෙන් “ආපසු පැමිණීමේ සහ නැවත ඒකාබද්ධ කිරීමේ” (Retruen and Reintergraiton Sub policy) ප්‍රතිපත්තිය අර්ථවත් ලෙස ක්‍රියාත්මක කිරීම මෙයින් අනිවාර්ය කෙරේ.

ඕනෑම මුලපිරීමක් තිරසාර වීමට නම් සමාජ දායකත්වයක් ද තිබිය යුතුය. සංක්‍රමණික ශ්‍රමිකයා සම්බන්ධයෙන්, සමාජ පිරිවැය අවම කර ගැනීමටත්, රටට සහ පවුලට ලැබෙන ප්‍රේෂණ ප්‍රශස්ත කිරීමටත් ප්‍රජාව සහ සමාජය කටයුතු කළ යුතුය. මෙම කාර්යය සඳහා VOM විසින් “ප්‍රජා මූලික පවුල් ආධාර වැඩසටහනක්” ආරම්භ කිරීමට යෝජනා කරනු ලබයි.

අවසාන වශයෙන්, විදේශ රටක සේවය කරන අතරතුර ඔවුන්ගේ ඡන්ද අයිතිය භාවිතා කිරීමට හැකි විකල්ප ඡන්ද ක්‍රම සඳහා ප්‍රවේශය නොමැති නම් සංක්‍රමණික කම්කරුවාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තවමත් පූර්ණ  වී නොමැති බව VOM හි හැඟීමයි. සංක්‍රමණික ශ්‍රමිකයන් අගය කොට හඳුනාගෙන, සංක්‍රමණික පවුලට පුළුල් වශයෙන්  නිසි සහයෝගය, කුසලතා සහ පහසුකම් ලබා නොදෙන්නේ නම්, සංක්‍රමණික ශ්‍රමිකයා විසින් එවන මුදල් පවුලට සහ රටට තිරසාර හා ලාභදායී ව්‍යාපාරයක් නොවනු ඇත.

සංක්‍රමණික හඬ සාමූහිකය (වොයිස් ඔෆ් මයිග්‍රන්ට් (VOM)