ඉදිරි මාස දෙක තුළ කොරියාවට සෘජු ගුවන් ගමන් අරඹන්න සාකච්ඡා

ඉදිරි මාස දෙක තුළ කොරියාවට සෘජු ගුවන් ගමන් අරඹන්න සාකච්ඡා
ඉදිරි මාස දෙක තුළ, ඍජු ගුවන් ගමන් ආරම්භ කිරීම සඳහා කොරියානු රජය සමඟ සාකච්ඡා කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
 
කොරියානු රැකියා සඳහා පිටත්ව යන ශ්‍රමිකයන් ගමන් ගන්නා ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 470 දරන ගුවන්යානය පෙරේදා දිනයේදීත් පැය 12ක් පමණ ප්‍රමාද වී ඇති අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඊවේ (21) පාර්ලිමේන්තුවේදී  ඇමැතිවරයා මේ බව පැවසීය.
 
කොරියාව බලා ශ්‍රමිකයන් රැගෙන යන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන්යානා දිගින් දිගටම මේ ආකාරයට ප්‍රමාද වීම නිසා කොරියානු රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත් කර යැවීම බරපතළ ගැටලුවක් බවට පත් වී තිබෙන බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන් අතර ප්‍රමාදය අවම කර ගැනීමේ තාවකාලික විසඳුමක් වශයෙන් ඉදිරි සති දෙක තුළදී එම ශ්‍රමිකයන් සිංගප්පූරුව හරහා කොරියාවට යැවීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයාපවසා ඇත.
 
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය, 
 
"දයාසිරි ජයසේකර මහතා මතු කළේ කාලෝචිත ප්‍රශ්නයක්. මේ ගුවන්යානා ප්‍රමාදය දිගින් දිගටම සිදු වෙනවා. මේ ගුවන් ප්‍රමාදය නිසාම අනෙක් කටයුතුත් ප්‍රමාද වෙනවා. මේ ශ්‍රමිකයන් භාර ගැනීමත් ප්‍රමාද වෙනවා. භාර ගන්න එන කණ්ඩායම් නියමිත වෙලාවට එන්නේ නැහැ. ඒ වගේම මෙය පළමු අවස්ථාව නෙවෙයි. සමහර දවස්වල පැය අට, නවය ප්‍රමාද වුණා. මේ ශ්‍රමිකයන් භාර ගැනීම සඳහා කොරියාවේ මානව සම්පත් දෙපාර්තමේන්තුව බලාගෙන ඉන්නේ උදේ අටේ විතර ඉඳන්. ඒ වෙලාවෙන් පිටත යනවා නම් ඒ අය භාර ගන්න සූදානම් නැහැ. ඒ වගේම ඊයෙත් මේක පැය දෙක තුනක් ඇතුළත කර ගන්න අපි උත්සාහ කළා. නමුත් සාර්ථක වුණේ නැහැ. ඒ නිසා කැන්සල් කරන්න සිදු වුණා. මේ දරුවො බලාපොරොත්තු පොදි බැඳගෙන යන්න එන්නේ.
 

 
 

 
කොරියාව බලා ශ්‍රමිකයන් රැගෙන යන ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් ගුවන්යානා දිගින් දිගටම මේ විදියට ප්‍රමාද වෙනවා. මෙම ගුවන්යානා දුවන්නෙම මෙම ශ්‍රමිකයන් හරහා. අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳව දැනුම්වත් කළත් නිර්ලැජ්ජිත විදියට මෙම ප්‍රමාදය නැවත නැවත සිදු කරනවා.
 
කොරියානු රැකියා සඳහා පිටත්ව යන 800 වැනි කණ්ඩායම ලෙස මෙම කණ්ඩායම දකුණු කොරියාව බලා පිටත් කර යැවීමට අවශ්‍ය සියලු කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් සූදානම් කර තිබුණා. අපි මේ ගැන කොරියාවත් සමඟත් කතා කළා. අපි මේ ආකාරයට කටයුතු කරන කොට ගුවන්තොටුපොළ හැමදාම මේ විනාශය කරනවා."