“ජයභූමි පදනම” නමින් මහා පරිමාන විදේශ රැකියා ජාවාරමක්

“ජයභූමි පදනම” නමින් මහා පරිමාන විදේශ රැකියා ජාවාරමක්
  • ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරියන් යොදාගෙන සිදුකල මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක් පිළිබඳ තොරතුරු හෙළිවේ...
  • රුපියල් කෝටි 3ට අධික මුදලක් වංචා කරලා...

“ජයභූමි පදනම” නමින් ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යමින්, ඇමරිකාවේ මියාමි නගරයේ වරාය ව්‍යාපෘතියක රැකියා රැසක් ලබාදෙන බව පවසා ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරියන් මාර්ගයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි තරුණ තරුණියන් රැසකගෙන් වංචනික ලෙස මුදල් අයකළ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට තොරතුරු වාර්තා වී ඇත.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ කාර්යාංශ නිළධාරීන් රාජගිරිය, “ජනජය සිටි” ගොඩනැගිල්ලේ, 6 වන මහලේ, කාමර අංක 615හි වංචනික අයුරින් පවත්වාගෙන යනු ලැබූ ආයතනය 2023.06.28 දින වැටලීමක් සිදුකර මූලික කරුණු අනාවරණය කරගෙන ඇත.

එහිදී නිළධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවේදී රැකියා අපේක්ෂිතයින් 636 දෙනෙකුට අදාල ලිපිගොනු කාර්යාංශ විමර්ශන කටයුතු භාරයට ගන්නා ලදී. මෙහිදී සිදුකළ වැඩිදුර විමර්ශන කරුණු අනුව, මොහාන් ද සිල්වා නම් පුද්ගලයෙකු මෙහි ප්‍රධාන සැකකරු වශයෙන් හඳුනාගෙන ඇති අතර, වසර 3ට අධික කාලයක් තිස්සේ මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත්, ඔහු විසින් ඇමරිකාවේ වීසා අයදුම් කිරිම සදහා පුද්ගලයින් 400ක ගෙන් පමණ එක් අයදුම්කරුවෙකුගෙන් රු.75,000.00 බැගින් වූ මුදලක් අයකර ගැනීම සිදුකර ඇත. 

මෙම ප්‍රධාන සැකකරු විසින් පොරොන්දු රැකියා නොලද තැනැත්තන්හට වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 3ට අධික වන අතර, මෙම නීතිවිරෝධි ක්‍රියාවට අදාළව කාර්යාංශය මගහරිමින් සිටිනු ලබන මොහු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන නිළධාරීන් ඉදිරි කටයුතු මෙහෙයවමින් සිටියි.

මෙම වැටලීම සම්බන්ධයෙන් මේ වන විට කොළඹ, අලුත්කඩේ අංක 5 ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වන කපිල කරුණාරත්න මහතා ඇතුළු රවීන්ද්‍ර අබේපාල, එම්.කේ සුමනවීර, ඉදුනිල් පුෂ්පකුමාර, සංජීව ධර්මසිරි හා අයි.සී.ජානකි යන නිළධාරීන් කටයුතු කර ඇත. 

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

වලංගු අනුමැතියකින් තොරව විදේශ රැකියා ලබාදෙන බවට මුදල් අයකරන පුද්ගලයින් හෝ ආයතන පිළිබඳව තොරතුරු දන්නේ නම් කාර්යාංශයේ ක්ෂණික ඇමතුම් අංකය වන 1989 ඇමතීම මගින් හෝ කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ දුරකථන අංකය වන 0112864241 අංකය ඇමතීම මගින් කාර්යාංශය වෙත දැනුම් දෙන මෙන් මහජනතාව දැනුවත් කරන්නේ නම් මැනවි.