විදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ සීමා ලිහිල් වෙයි

විදේශ විනිමය ප්‍රේෂණය කිරීමේ සීමා ලිහිල් වෙයි
දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළෙහි වර්තමාන සහ අපේක්ෂිත සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් සහ ජාත්‍යන්තර ගනුදෙනු වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමේ අරමුණින්, මුදල් අමාත්‍යවරයා විසින් විදේශ විනිමය පනතේ 22වන වගන්තිය යටතේ නව නියමයන් නිකුත් කර තිබේ.
 
ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශය සහ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය සහිතව බව සඳහන්ය.
 
 
2020 අප්‍රේල් මස සිට ක්‍රියාත්මකවන පරිදි ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් තාවකාලිකව සීමා කිරීම් සහ අත්හිටුවීම් සඳහා නියමයන් නිකුත් කර තිබුණි.
 
මුදල් අමාත්‍යවරයා විසින් මෙම නියමයන් නිකුත් කර තිබුණේ 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ වන අතර ඉන් අපේක්ෂා කෙරුණේ විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීමයි.
 
එමගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමට සහය වීම සහ රටතුළ පවතින විදේශ විනිමය සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීම අරමුණු කෙරිණි.
 
ඒ් අනුව මේ වන විට දේශීය විදේශ විනිමය වෙළෙඳ පොළෙහි වර්තමාන සහ අපේක්ෂිත සංවර්ධනයන් සැලකිල්ලට ගනිමින් සහ ජාත්‍යන්තර ගනුදෙනු වෙනුවෙන් තවදුරටත් පහසුකම් සැලසීමේ අරමුණින්, මුදල් අමාත්‍යවරයා විසින් විදේශ විනිමය පනතේ 22වන වගන්තිය යටතේ නව නියමයන් නිකුත් කර ඇත.
 
 
මෙම නියමයන් මගින් ප්‍රාග්ධන ගනුදෙනු වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම මත පනවා තිබූ යම් යම් සීමා අත්හිටුවීමට සහ ලිහිල් කිරීම සහ විගාමිකයන්ගේ වර්තන ගනුදෙනු මත පනවා තිබූ සීමාකිරීම් ඉවත් කර තිබේ.
 
පෙර නිකුත් කරන ලද නියමය යටතේ පනවා තිබූ අනෙකුත් සීමා කිරීම් සහ අත්හිටුවීම් තවදුරටත් බලපැවැත්වෙනු ඇති බව එම නිවේදනයේ දැක්වෙයි.