බිරිඳගේ කාර්යාංශ බලපත්‍රය අවභාවිතා කරමින් මුදල් වංචාකළ සැමියා අත්අඩංගුවට

බිරිඳගේ කාර්යාංශ බලපත්‍රය අවභාවිතා කරමින් මුදල් වංචාකළ සැමියා අත්අඩංගුවට

විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම වෙනුවෙන් සිය බිරිඳ විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් ලබාගෙන තිබූ බලපත්‍රය අවභාවිතා කරමින් මුදල් වංචාකළ පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.07.19 දින අත්අඩංගුවට ගෙන තිබේ.

මරදාන, දේවානම්පියතිස්ස මාවතේ මෙම බලපත්‍රලාභී විදේශ රැකියා ආයතනය පවත්වාගෙන ගොස් ඇති අතර, එහි කළමනාකරු ලෙස සේවය කළ බලපත්‍රලාභිනියගේ සැමියා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් ලබාදෙන බව පවසා තරුණයෙකුගෙන් රු.330,000.00 ක මුදලක් ලබාගෙන ඇත. එම මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදීම හේතුවෙන් ඔහු කාර්යාංශය වෙත පැමිණිලි කර තිබෙන අතර, ඒ අනුව අදාල විදේශ රැකියා ආයතනයේදීම මෙම පුද්ගලයා අත්අඩංගුවට  ගන්නා ලදී.

වලංගු විදේශ රැකියා කාර්යාංශ බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් අයකිරීමේ වරද මත සැකකරු ඊයේ දින (2023.07.20) මාළිගාකන්ද ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැරීමටත්, පැමිණිලිකරුගෙන් ලබාගත් මුදල යලි ගෙවීමටත්, මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. වැඩිදුර නඩු විභාගය ඔක්තෝම්බර් මස 26 දින කැඳවීමට නියමිතයි.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් වන රවීන්ද්‍ර අබේපාල, ඉදුනිල් පුෂ්පකුමාර, අමිල පෙරේරා, අචිනි නිරාශා යන නිළධාරීන් එක්වූහ.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.