හොර වීසා, පාස්පෝට් වලින් විදෙස්ගත වෙන්න ගියොත් මොකද වෙන්නේ?

හොර වීසා, පාස්පෝට් වලින් විදෙස්ගත වෙන්න ගියොත් මොකද වෙන්නේ?

එක්‍ රටක පුරවැසියෙක් තවත් රටකට ඇතුළු වීමේ දී අනිවාර්යෙන් ම ඔවුන් සතුව වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් සහ වීසා බලපත්‍රයක් තිබීම අනිවාර්ය වේ. ඇතැම් රටවල්, ඔවුන් විසින් නම් කරන රටවල්වල පුරවැසියන් සඳහා වීසා නොමැතිව සිය රටට ඇතුළුවීමේ පහසුකම් ද සලසා තිබේ. කෙසේවෙතත් ඕනෑම අයෙකු සතුව එක් රටකින් තවත් රටකට යාමේ දී වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් තිබිය යුතු වේ.

පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ සිට ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රයක් හෝ ව්‍යාජ වීසා බලපත්‍ර සහිතව විදේශගත වීමට උත්සහ කළ කිහිපදෙනෙකුම ගුවන්තොටුපොළේ දී ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

ව්‍යාජ ලේඛන වලින් විදේශගත වීමට උත්සහ කිරීම ශ්‍රී ලංකාව තුළ වරදක් වන අතර මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට ද හැකි ය. මේ ඒ සම්බන්ධයෙන් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය සමඟ කළ සාකච්ඡාවකි.

ව්‍යාජ වීසා බලපත්‍ර යොදාගෙන විදේශගතවීම උත්සහ කිරීමේ ප්‍රවණතාවයක් මේ වන විට ඇති වී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලූ බීබීසී සිංහල වෙත දැනගන්නට ලැබුණි.

| ව්‍යාජ වීසා බලපත්‍ර යොදාගෙන විදේශගතවීම උත්සහ කිරීමේ ප්‍රවණතාවයක් මේ වන විට ඇති වී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලූ බීබීසී සිංහල වෙත දැනගන්නට ලැබුණි.

ශ්‍රී ලංකාවෙන් හසුවන ව්‍යාජ ගුවන් ගමන් ලියකියවිලි මොන වගේ දේවල් ද?

"ශ්‍රී ලංකාවෙන් ව්‍යාජ ලෙස හදපු ගුවන් ගමන් බලපත්‍ර, එහෙමත් නැතිනම් පාස්පෝට් හසුවෙන්නේ ඉතාම අඩු වශයෙන්. නමුත් ව්‍යාජ වීසා බලපත්‍ර හසුවෙනවා.

බොහෝවෙලාවට ව්‍යාජ පාස්පෝට් එකක් හදනවාට වඩා, පාස්පෝට් එකේ හිමිකරුට සමාන රූපයක් තියෙන වෙන කෙනෙක් ඒ නමින් පෙනීසිටිමින් විදේශගත වෙන්න එනවා. සමහරවෙලාවට මේ ලිපිලේඛන වල තොරතුරු වෙනස් කරන්න උත්සහ කරලා තියෙන්න පුලුවන්. ඒ කියන්නේ ඒ ලේඛන සූරලා, මකන්න උත්සහ කරලා යම් විකෘති කිරීමක් කරලා තියෙන්න පුලුවන්.

මෑත කාලයේ දී අපි බහුලව ම අත්අඩංගුවට ගත්තේ යුරෝපා රටවල් වලට යාමට බලාපොරොත්තුවෙන් ඒ රටවල්වල ස්ථිර පදිංචිය සඳහා ලැබෙන ලේඛන, වීසා වගේ දේවල් වෙනස් කරලා, ව්‍යාජ ලෙස සකසලා යන්න උත්සහ කරන අය.

ඒ වගේම අපේ ගුවන්තොටුපොළේ ඇතුළුවීමේ සහ පිටවීමේ පර්යන්ත දෙකම තියෙන්නෙ එක තැන. සාමාන්‍යයෙන් වෙනත් රටවල්වල ඒ දෙක තියෙන්නෙ තැන් දෙකක. නමුත් ශ්‍රී ලංකාවෙ එහෙම නැති නිසා ඒ යන එන අය මිශ්‍ර වීමක් සිදුවෙනවා. එතැන දී වෙනත් රටක ඉඳල එන කෙනෙක්ගෙ ලේඛන අරගෙන වෙන කෙනෙක් එතනින් ඇතුළුවෙන්න උත්සහ කරපු අවස්ථාත් වාර්තා වෙලා තිබෙනවා."

මෙවැනි ව්‍යාජ ලේඛන එක්ක එන කෙනෙක් හඳුනාගන්නේ කොහොමද?

"ගුවන්තොටුපොළේ ඕනෑම තැනක දී මෙවැනි අයව අපි හසුකරගෙන තියෙනවා. ඒ සඳහා විශේෂ යාන්ත්‍රණයක් තියෙනවා. අපි සතුව මේ සඳහා, 'දේශ සීමා ආවේක්ෂණ ඒකකය' නමින් විශේෂ ඒකකයක් ගුවන්තොටුපොළ තුළ තියෙනවා. මේ නිලධාරීන් ඉන්නේ බොහෝවිට ලේඛන පරීක්ෂා කරන කවුන්ටරවල නොවෙයි. ඔවුන් ඉන්නේ සිවිල් ඇඳුමින්. ගුවන්තොටුපොළ පුරාම ඔවුන්ව යොදලවලා තිබෙනවා. ඔවුන්ට පුද්ගලයන්ගේ හැසිරීම් නිරීක්ෂණය සඳහා විශේෂ පුහුණුවක් ලබා දීලා තියෙනවා. එමඟින් ඔවුන් යම් සැකසහිත හැසිරීම් නිරීක්ෂණය කළොත් ඔවුන්ව පරීක්ෂා කරනවා. ඒ වගේම කවුන්ටරවලදීත් පරීක්ෂා කිරීමක් සිදුවෙනවා.

ඒ වගේම අපි සතුව ගුවන්තොටුපොළ තුළ අන්තර්ජාතික මට්ටමේ පරීක්ෂණාගාරයක් තියෙනවා. ඒ පරීක්ෂණාගාරයේ දී ඕනෑම රටක පාස්පෝට්, වීසා වගේ දේවල් සත්‍යද කියලා සෙවීමේ හැකියි. ගුවන් සමාගම් වලිනුත් සමහර අවස්ථාවල දි සැකසහිත ලේඛන නිරීක්ෂණය කළොත් ඒවා අපට එවනවා පරීක්ෂා කිරීම සඳහා.

පහුගිය අවුරුද්දේ, 2022 දි එවැනි අපි හසුකරගත් පුද්ගලයන් 137ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදුන්නා. මීට පෙර වසරවලට වඩා පහුගිය වසරේ දී සහ මේ වසරේ දී මේ විදිහට ව්‍යාජ ලේඛන සමඟ ගුවන් ගතවෙන්න එන අය වැඩි වීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වෙලා තියෙනවා."

කවුරුන් හෝ කෙනෙක් වලංගු නැති වීසා එකක් හෝ පාස්පෝට් එකකින් රට යන්න ආවොත් මොකද වෙන්නේ?

"මෙහෙම කෙනෙක් මුලින්ම හසුකරගත්තට පසුව අපි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් වෙනම පරීක්ෂණයක් කරලා ඒ පුද්ගලයාගෙ ඉතිහාසය, ඔහුගේ සම්බන්ධතා මේ හැමදේ ගැනම වාර්තාවක් සකස් කරනවා. ඉන්පසුව අපේ පරීක්ෂණයට අදාල ඇඟිලි සලකුණු හා ඡායාරූප ගත්තාට පසුව තමයි ඒ අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දෙන්නේ.

මේ ව්‍යාජ ලේඛන සැකසීම.ඔහු විසින් කළා වෙන්නත් පුළුවන්. එහෙමත් නැතිනම් වෙනත් පාර්ශවයක් මේවා සකස් කර දුන්නා වෙන්නත් පුළුවන්. එවැනි ජාවාරම් ආදී දේවලුත් තිබිය හැකි නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

1948 අංක 20 දරණ ආගාමික හා විගාමික පනතේ 45 (1) වගන්තියට අනුව, ගුවන ගමන් බලපත්‍රයක් හෝ එහි පිටුවක්, වීසාවක් හෝ එහි පිටුවක් ව්‍යාජ ලෙස වෙනස් කරන්න උත්සහ කරලා තියෙනවා නම් ව්‍යාජ ලෙස වෙනස් කිරීම හා කූඨ ලේඛන සැකසීම යටතේ වරදක් ලෙස සලකන්න පුළුවන්.

මෙම වගන්තිය යටතේ තමයි සැකකරුවන්ව CID ය විසින් අධිකරණයට ඉදිරිපත් කරන්නේ. මුලින් ම එම සැකකරුවන්ව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළත් ඔවුන්ට ඒ අධිකරණයෙන් ඇප ලබා ගැනීමේ හැකියාවක් නෑ. ඇප ලබා ගැනීමට මහාධිකරණය දක්වා යා යුතුයි. මහාධිකරණය දක්වා ගියත් එයිනුත් මෙවැනි වරදක් සඳහා කෙටි කාලයකින් ඇප ලබා ගැනීමේ සම්භාවිතාවය ඉතා අඩුයි. ආධාර අනුබල දීම මත සැකපිට අත්අඩංගුවට ගන්නා අයටත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහටමයි."

පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ සිට ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රයක් හෝ ව්‍යාජ වීසා බලපත්‍ර සහිතව විදේශගත වීමට උත්සහ කළ කිහිපදෙනෙකුම ගුවන්තොටුපොළේ දී ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

| පසුගිය කාල සීමාව තුළ ශ්‍රී ලංකාවේ සිට ව්‍යාජ ගුවන්ගමන් බලපත්‍රයක් හෝ ව්‍යාජ වීසා බලපත්‍ර සහිතව විදේශගත වීමට උත්සහ කළ කිහිපදෙනෙකුම ගුවන්තොටුපොළේ දී ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

යම් කෙනෙක් වැරදිකරු කියලා අධිකරණයෙන් ඔප්පු වුණොත්?

"ව්‍යාජ ලේඛන සහිතව විදේශගත වෙන්න ගිය පුද්ගලයා වරදකරු කියලා ඔප්පු වුණෝතින් ඔහුට ලැබෙන දඬුවම වෙන්නේ රුපියල් 50000 ක දඩයක් ගෙවීමට නියම කිරීම. නමුත් මේ සඳහා ආධාර අනුබල දෙන අයට ලැබෙන දඬුවම විශාලයි. කෙනෙක් ආධාර අනුබල දුන් බව ඔප්පු වුණොත් ඒ පුද්ගලයාට වසර පහක සිර දඬුවමක් හා රුපියල් ලක්ෂ දෙකක දඩයක් නියම වෙනවා. මෙවැනි දේකට ආධාර අනුබල දෙනවා කියන්නෙ බරපතළ වැරැද්දක්.

ව්‍යාජ ලේඛන සහිතව ශ්‍රී ලංකාවට ඇතුළුවීමට උත්සහ කරන විදේශිකයන්ව අපි ගුවන්තොටුපොළින්ම හරවලා යවනවා. ඔවුන් සම්බන්ධයෙන් අපට ක්‍රියාමාර්ග ගන්න බෑ. ඔවුන්ට නැවත වීසා ලබා නොදීම වගේ දේවල් කරන්න පුළුවන්."

මේ වරදවල් මඟහරවා ගන්න ජනතාවට කරන්න පුලුවන් මොනවාද?

"ශ්‍රී ලංකාවෙ පුරවැසියන් හැමකෙනෙකුටම තමන්ගේ උප්පැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කරලා ගුවන්ගමන් බලපත්‍රයක් ලබා ගන්න පුළුවන්. ඒ සඳහා අපි ඕනෑ තරම් පහසුකම් සපයලා තියෙනවා. හැමරටක්ම නීත්‍යානුකූල විදිහට තමන්ගෙ රටට ඇතුළුවෙන්න අවශ්‍ය දේවල් පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේවගේ දේවල් සිදුවෙන්නෙ හොරපාරවල් වලින් විදේශගත වෙන්න යන අය නිසා.

ඒ නිසා මම ජනතාවට කියන්න කැමතියි ජාවාරම් කාරයන්ට හසුවෙන්නෙ නැතිව, නිවැරදි ක්‍රමයට නීත්‍යානුකූල විදිහට විදේශ ගතවෙන්න කියලා. තමන් දන්නෙ නැති ඕනෑම දෙයක් විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් දැනගන්න පුළුවන්."

2022 දි ව්‍යාජ වීසා උපයෝගී කරගෙන විදෙස්ගත වීමට තැත්කළ පුද්ගලයන් 137ක් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී තිබේ.

| 2022 දි ව්‍යාජ වීසා උපයෝගී කරගෙන විදෙස්ගත වීමට තැත්කළ පුද්ගලයන් 137ක් වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාරදී තිබේ.

වලංගු වීසා නැතිව හොර පාරෙන් යන අයට තියෙන අවදානම මොන වගේ ද?

"ඔබ ජාවාරම්කරුවන්ට හසුවෙලා ඔබේ මුදල් නාස්ති කරගන්න වෙනවා. මේ දේවල් සකස් කරන්න ඔබ ජාවාරම් කරුවන්ට වියදම් කළ මුදල් අපතේ යනවා. ඔබට කිසිසේත්ම විදේශ ගත වෙන්න ලැබෙන්නේ නෑ වලංගු වීසා නොමැතිව.

නීත්‍යානුකූල නොවන අන්දමින් විදෙස්ගත වෙන්න තීරණය කරන අවස්ථාවේ සිටම මේ අයගේ ජීවිතය සහ දේපළ තියෙන්නේ අනතුරක. මේවිදිහට ජාවාරම් කරුවන් හරහා රට ගිහින් ආයුධ සන්නද්ධ කණ්ඩායම් යටතේ වහලුන් විදිහට වැඩ කරන්න සිදුවෙලා තිබෙන අය ගැන අපට තොරතුරු ලැබිලා සොයා බලමින් ඉන්නවා. සමහර අය වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් හා වීසා බලපත්‍රයක් ඇතුව ගියත් ජාවාරම්කරුවන් හරහා රට යන්න ගිහින් අමාරුවේ වැටෙනවා. ඒ නිසා විශ්වාසදායක ඒජන්සියකින් විදේශගත වෙන එක වැදගත්.

ඒ වගේම වර්තමාන ප්‍රවණතාවයක් තිබෙනවා තමන්ගේ ඇත්ත පාස්පෝට් එකෙන් සංචාරක වීසා අරගෙන වෙනත් රටකට යනවා. මෙතනදි මේ දෙකම නීත්‍යානුකූලයි. නමුත් ඔවුන් ඒ රට ගිහින් ගොඩබිමින් හෝ මුහුදු මාර්ගයෙන් වෙනත් රටකට ඇතුළුවීමට උත්සහ කරනවා. මේ දේවල් නිසා ජීවිතය වගේම දේපල අහිමි කරගත් සිදුවීම් විශාල ප්‍රමාණයක් අපට වාර්තා වෙලා තියෙනවා.

ඒ නිසා නිවැරදි ආකාරයෙන්, විශ්වාසනීය සේවා ගිවිසුම් සහිතව විදේශගත වෙන්න කියන පණිවුඩය මහජනතාවට දෙන්න කැමතියි."

(bbc/sandeshaya)