කොරියානු රැකියා පෙන්වා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කරලා

කොරියානු රැකියා පෙන්වා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කරලා

කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානයට ලද දුරකථන ඇමතුමකින් මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක සුල මුල හෙළිවේ.

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයට ලද ඇමතුමකින් දකුණු කොරියාවේ රැකියා පෙන්වා මුදල් වංචාකළ මහා පරිමාණ විදේශ රැකියා ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

කාර්යාංශයේ 24 පැය ඇමතුම් මධ්‍යස්ථානයට (2023.08.10) දින ලද දුරකථන ඇමතුමක් මගින්, දකුණු කොරියාවේ රැකියා වෑද්දුම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා ශ්‍රි ලාංකික තරුණයින් බඳවා ගන්නා බවත්, ඒ සඳහා එක් අයෙකුගෙන් රු.375,000.00 ක මුදලක් ලබාගන්නා බවත්, එම රැකියා සඳහා බඳවාගැනීමේ පරීක්ෂණයක් අද දින කොලොන්නාවේ පිහිටි රජයේ කර්මාන්තශාලා දෙපාර්තමේන්තුවේදී පැවැත්වෙන බවත් සඳහන් කරමින් පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලදී.

ඒ අනුව තොරතුරු මධ්‍යස්ථානයේ නිළධාරීන් මෙම පැමිණිල්ල කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට යොමුකර ඇති අතර, විමර්ශන නිළධාරීන් ක්ෂණිකව ක්‍රියාත්මක වී එම ස්ථානය වැටලීම් කරන ලදී. එහිදී තරුණයින් තිහකට අධික පිරිසක් ඒ සදහා සහභාගි වී සිට ඇති අතර, වැඩසටහන මෙහෙය වූ ක්‍රිෂාන්ත කුමාර හා සුහාන රන්දේව නමැති පුද්ගලයින් දෙදෙනෙකු එහිදී අත්අඩංගුවට ගන්නා ලදී. මේ සඳහා සහය වූ තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට කාර්යාංශය ඉදිරි විමර්ශන මෙහෙයවයි.

දකුණු කොරියාවේ රැකියා ලබාගැනීම සඳහා මෙම පුද්ගලයින්ට මුදල් ලබාදුන් පුද්ගලයින් 25ට අධික පිරිසක් මේ වන විට කාර්යාංශයට පැමිණිලි කර තිබෙන අතර, තවදුරටත් පැමිණිලි ලැබෙමින් පවතී. මේ වන විට කාර්යාංශයට ලද පැමිණිලි සැලකීමේදී ඔවුන් වංචාකර ඇති මුදල් ප්‍රමාණය රුපියල් කෝටියකට අධික වේ. 

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව දකුණු කොරියාවේ රැකියා ලබාදීම සඳහා මුදල් ලබාගැනීමේ චෝදනාව මත, අත්අඩංගුවට ගත් සැකකරුවන් (2023.08.11) දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් වන සරත් විමලවීර, රවීන්ද්‍ර අබේපාල, ඉදුනිල් පුෂ්පකුමාර, නාලක මාමල්ගහ, මධුශාන් විජේවර්ධන යන නිළධාරීන් එක්විය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙසත්, විදේශ රැකියා වංචාවන් පිළිබඳව 1989 ක්ෂණික ඇමතුම් අංකය මගින් පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා දැනුම් දෙන ලෙසත් කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.