ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යැවූ පිරිස 500 ඉක්මවයි

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා පිටත් කර යැවූ පිරිස 500 ඉක්මවයි

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ PIBA ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින් 505 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා වරම් හිමිවී තිබේ.

අගෝස්තු මස 13 හා 15 යන දිනයන්හි ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව යාමට නියමිත තවත් ලාංකිකයින් 25 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම (2023.08.10) දිනයේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකෙරුණු අතර, ඊට කාන්තාවන් 24 දෙනෙකු හා එක් පිරිමි පුද්ගලයෙකු අයත්වේ.

මෙම පිරිසත් සමග 2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 266 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා වරම් හිමිව තිබේ.

ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමේ අවස්ථාවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (බඳවාගැනීම් හා පුහුණු) සෙනරත් යාපා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීම සදහා එරට පීබා ආයතනය සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සාකච්ඡා කරනු ලැබූ අතර ලංකාවෙන් ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටද සහතික විය.

ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබී තිබේ.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.