වලංගු බලපත්‍රයක් නොමැතිව ඕමානයේ රැකියා සඳහා පුද්ගලයින් යැවූ අයෙක් අත්අඩංගුවට

වලංගු බලපත්‍රයක් නොමැතිව ඕමානයේ රැකියා සඳහා පුද්ගලයින් යැවූ අයෙක් අත්අඩංගුවට

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ඕමානයේ රැකියා ලබාදීමට මුදල් ලබාගත් පුද්ගලයෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.08.13 දින අත්අඩංගුවට ගෙන තිබේ.

මඩකලපුව, අමිර්තකලි ප්‍රදේශයේ පදිංචි නරේන්ද්‍රරාසා සිටිකරන් නම් අයෙකු ඕමානයේ රැකියා ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රු.450,000.00 බැගින් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයට පැමිණිලි දෙකක් ලැබී තිබෙන අතර, ඒ අනුව කාර්යාංශයේ විමර්ශන නිළධාරීන් මඩකලපුව පොලිසියේ සහායද ඇතිව 2023.08.13 දින අදාල පුද්ගලයා ඔහුට අයත් නිවසේදී අත්අඩංගුවට ගන්නා ලදී.

වැඩිදුර විමර්ශනවලදී මෙම පුද්ගලයා විසින් රැකියා සඳහා ඕමානයට යවන ශ්‍රි ලාංකිකයින්ට පොරොන්දු වූ පරිදි අදාල රැකියාව හිමිනොවීම හේතුවෙන් අසරණ තත්ත්වයට පත්ව ඇති බවත්, විශාල පිරිසකගෙන් මෙලෙස මුදල් ලබාගෙන ඇති බවත් හෙළිවී තිබෙන අතර, ඒ පිළිබඳව කාර්යාංශය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

අත්අඩංගුවට ගත් සැකකරු, කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවාගැනීම හා මුදල් අයකිරීම යන චෝදනාව මත පැමිණිලි දෙකකට අදාළව කාර්යාංශය විසින් නඩු දෙකක් පවරන ලදී. ඒ අනුව සැකකරු 2023.08.13 දින මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් නඩුවක් සඳහා රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් බැගින් නඩු දෙකට අදාළවම එම දඩුවම පැමිණවීමෙන් පසු ඇප මත මුදා හරින ලද අතර විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ. ඉදිරි නඩු 2023.08.25 දින කැඳවීමට නියමිතයි.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වන කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, අමිල පෙරේරා, මදුෂාන් විජේවර්ධන යන නිළධාරීන් එක්විය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙසත්, විදේශ රැකියා වංචාවන් පිළිබඳව 1989 ක්ෂණික ඇමතුම් අංකය මගින් පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා දැනුම් දෙන ලෙසත් කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.