ගුවන් ටිකට්පත් මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය හොර රැකියා ඒජන්සිය වටලයි

ගුවන් ටිකට්පත් මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය හොර රැකියා ඒජන්සිය වටලයි

ගුවන් ටිකට්පත් මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් 2023.08.14 දින වැටලීම් කර තිබේ.

පොළොන්නරුව, රෝහල හන්දිය ප්‍රදේශයේ GK Travels (Pvt) Ltd නමින් කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව ව්‍යාජ විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකර එම ආයතනය පවත්වාගෙන ගිය පොලොන්නරුව, සෙවන පිටිය ප්‍රදේශයේ පදිංචි කදිරගාම තම්බි ගෞරි කාන්දන් නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

විදේශ ගමන් බලපත්‍ර 3ක්, ජීව දත්ත පත්‍රිකා 4ක්, කටාර් රාජ්‍යයේ රැකියා වීසා ලබාගැනීම සඳහා අවශ්‍යවන වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට අදාල අයදුම්පත් 3ක්ද එම ස්ථානයේ තිබී විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

කාර්යාංශයේ වලංගු රැකියා බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යාම හා විදේශ රැකියා සඳහා බඳවාගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරු අද දින (2023.08.15) පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහරින ලද අතර, පදිංචිය සනාථ කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. වැඩිදුර නඩු විභාගය 2023.10.19 දින කැඳවීමට නියමිතයි.

මෙම අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ විමර්ශන අංශයේ කළමනාකරු වන කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, අමිල පෙරේරා, මදුෂාන් විජේවර්ධන යන නිළධාරීන් එක්විය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙසත්, විදේශ රැකියා වංචාවන් පිළිබඳව 1989 ක්ෂණික ඇමතුම් අංකය මගින් පැය 24 තොරතුරු මධ්‍යස්ථානය අමතා දැනුම් දෙන ලෙසත් කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.