විදේශගත ශ්‍රී ලාංකිකයන්ට විදුලි වාහන ගෙන්වන්න ලබාදුන් අවසරය ලත් තැනම ලොප්වන ලකුණු

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට විදුලි වාහන ගෙන්වන්න ලබාදුන් අවසරය ලත් තැනම ලොප්වන ලකුණු

ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයන්ට සහනදායි කොන්දේසි මත විදුලි වාහන ආනයනය කිරීමට ඉඩ සලසන ක්‍රමය අහෝසි කරන ලෙස මහා භාණ්ඩාගාරය විසින් මුදල් ඇමැති ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත නිර්දේශ කර ඇත.

වසරකට වැඩි කාලයක් බලපැවැත්වෙන මෙම යෝජනා ක්‍රමය පිළිබඳ විශ්ලේෂණයකින් පසු මෙම පියවර ගෙන තිබේ.

නිල සහ නෛතික මාර්ග හරහා වැඩි විදේශ විනිමය රටට ප්‍රේෂණය කිරීමට සංක්‍රමණික සේවකයන් දිරිමත් කිරීම එහි අරමුණ විය.

මෙම යෝජනා ක්‍රමය හරහා ලැබෙන ප්‍රේෂණ ප්‍රමාණවත් නොවන බවත්, ආනයනය සඳහා පනවා ඇති බදු ප්‍රමාණවත් නොවන බවත්, මහා භාණ්ඩාගාරය විසින් සොයාගෙන ඇති බව මුදල් අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි.

ඒ අනුව, මෙම යෝජනා ක්‍රමය මූල්‍යමය වශයෙන් සාර්ථක නොවන බව පැවැසේ.

එම නිසා තවදුරටත් එම යෝජනා ක්‍රමය දීර්ඝ නොකරන ලෙස මහා භාණ්ඩාගාරය නිර්දේශ කරන බවද වාර්තා සඳහන් කරයි.

වාහන ආනයනය සඳහා අවසර ලබා දෙන්නේ නම්, කිසිදු විශේෂ කණ්ඩායමකට ප්‍රතිලාභ ලබා නොදිය යුතු අතර සෑම අංශයකටම සමාන සැළකිල්ලක් දැක්විය යුතු බවට වන අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ නිර්දේශයද භාණ්ඩාගාරය පෙන්වා දී තිබේ.

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහනදායී කොන්දේසි මත විදුළි වාහන ආනයනය කිරීමට අවසර දිය යුතු බවට ඉදිරිපත් වූ යෝජනාවක් ඇතුළු ඉල්ලීම් කිහිපයක්ම භාණ්ඩාගාරයට ද ලැබී ඇති බවද අනාවරණය වේ.

මෙම යෝජනා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීමේ ප්‍රබල සම්භාවිතාවක් පවතින අතර, එමනිසා එය තවදුරටත් දීර්ඝ කිරීමකින් තොරව එම යෝජනා ක්‍රමය අහෝසි කරන ලෙසට නිර්දේශ කර ඇති බව පැවැසේ.

මේ වසරේ මාර්තු මාසය වන විට විදුලි වාහන ආනයනය සඳහා බලපත්‍ර 100කට අධික ප්‍රමාණයක් නිකුත් කර තිබේ.

(ceylonnewswire)