2023 වසරේ රැකියා සඳහා විදේශ ගතවීම් ලක්ෂ 2 ඉක්මවයි

2023 වසරේ රැකියා සඳහා විදේශ ගතවීම් ලක්ෂ 2 ඉක්මවයි

2023 වසරේ මුල් මාස 8ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 200,387 ක ප්‍රමාණයක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ. ඉන් පිරිමි ශ්‍රමිකයින් ප්‍රමාණය 113,635 ක් වන අතර, රැකියා සඳහා විදේශ ගතවූ කාන්තාවන් ප්‍රමාණය 86,752 කි.

ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ සෞදි අරාබි රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 44,827 කි. දෙවනුව කුවේට් රාජ්‍යයට ශ්‍රමිකයින් වැඩිවශයෙන් රැකියා සඳහා පිටව ගොස් ඇති අතර එම ප්‍රමාණය 39,000 කි. තෙවනුව හා සිව්වනුව කටාර් රාජ්‍යයට හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රි ලාංකිකයින් පිටත්ව ගොස් ඇති අතර, එම ප්‍රමාණය අනුපිළිවෙලින් 34,166 ක් හා 25,058 ක් වේ.

යුරෝපා රටවලට ශ්‍රි ලාංකිකයින් රැකියා සඳහා යොමුවීමේ ප්‍රවණතාවයක් වර්තමානයේ ඇතිවී තිබෙන අතර, ඒ අනුව 2023 වසරේ මුල් මාස 8 තුළ රුමේනියාවට ලාංකිකයින් 9,916 දෙනෙකු රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

පුහුණු හා වෘත්තිය රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 152,591 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර, ගෘහ පාලන සහකාර තනතුර සඳහා පිටත්ව ගොස් ඇත්තේ 47,796 ක පිරිසක් පමණි.

දිස්ත්‍රික්ක වශයෙන් ගත්කල වැඩි වශයෙන් පුද්ගලයින් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම ප්‍රමාණය 22,801 කි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 20,957 දෙනෙකුද, මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 19,222 දෙනෙකුද, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් 17,777 දෙනෙකු හා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 11,831 දෙනෙකු වශයෙන්ද රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

වයස් කාණ්ඩ වශයෙන් සලකා බැලීමේදී වයස අවුරුදු 30 හා 39 යන වයස් කාණ්ඩය යටතේ පුද්ගලයින් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමුවී ඇති අතර, එම ප්‍රමාණය 66,968 කි. දෙවනුව වයස අවුරුදු 40-49 යන වයස් කාණ්ඩයේ පුද්ගලයින් 58,847 දෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

2022 වසරේ ශ්‍රි ලාංකිකයින් 310,967 දෙනෙකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.