ඇමතිගේ යාළුවා, නෑදෑයා කවුරු කිව්වත් ඊශ්‍රායල් රැකියා ලබාගැනීම සඳහා කිසිවෙකුට මුදල් දී අහුවෙන්න එපා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

ඇමතිගේ යාළුවා, නෑදෑයා කවුරු කිව්වත් ඊශ්‍රායල් රැකියා ලබාගැනීම සඳහා කිසිවෙකුට මුදල් දී අහුවෙන්න එපා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

ඊශ්‍රායලයේ හා ශ්‍රි ලංකාවේ සිටින ඇතැම් වංචාකරුවන් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා විශාල වශයෙන් මුදල් අයකරන බවත්, විදේශ රැකියා ඇමතිගේ නෑදෑයෙකු, හිතමිත්‍රයෙකු යැයි කියාගනිමින් මෙම වංචාවන් සිදුකරන බැවින් කිසිඳු පුද්ගලයෙකුට ඊශ්‍රායල් රැකියා සඳහා මුදල් ලබානොදෙන මෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉල්ලා සිටියි.  ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලබා ඊශ්‍රායල් දත්ත පද්ධතියේ රැදි සිටින අයදුම්කරුවන් 590 දෙනෙකු 2023.09.01 දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී හමුවූ අවස්ථාවේදී අමාත්‍යතුමා විසින් මේ බව ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයේ රැකියා සඳහා මූලික සුදුසුකම් ලැබූ අයගේ තොරතුරු ඇතැම් පුද්ගලයින් විසින් ලබාගෙන රැකියා ලබාගැනීමට අවශ්‍ය නම් ලක්ෂ ගණනින් මුදල් ලබාදෙන ලෙස ප්‍රකාශ කරන බවත්, ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස අමාත්‍යවරයා රැකියා අපේක්ෂිතයින්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේදී ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව යන ශ්‍රි ලාංකිකයින් 27 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීමද සිදුකරන ලද අතර, ඉන් රැකියා ලාභීන් 11 දෙනෙකු  සැප්තැම්බර් මස 3 දින පිටත්ව ගිය අතර, තවත් 16 දෙනෙකු සැප්තැම්බර් 5 යන දිනයන්හි දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා  සිය අමාත්‍ය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමෙන් පසු කලක් අඩපණව පැවති ඊශ්‍රායල් රැකියා ක්ෂේත්‍රය යලි සක්‍රිය කිරීම සඳහා ඊශ්‍රායල් නියෝජිතයින් සමග සාකච්ඡා කළ අතර, රැකියා සඳහා බඳවා ගැනීම් හා සුදුසුකම් සම්පූර්ණ කරන ලද ශ්‍රමිකයින් කඩිනමින් ඊශ්‍රායලය බලා පිටත්කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් හට උපදෙස් ලබාදෙන ලදී.