අධ්‍යාපන ආයතනයකට මුවාවී විදෙස් රැකියා ලබාදුන් අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනෙකු කුරුණෑගලදී කොටුවෙයි

අධ්‍යාපන ආයතනයකට මුවාවී විදෙස් රැකියා ලබාදුන් අඹු සැමි යුවළක් ඇතුළු තිදෙනෙකු කුරුණෑගලදී කොටුවෙයි

විදේශ අධ්‍යාපන ආයතනයක මුවාවෙන් ව්‍යාජ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය අඹු සැමි යුවළක් හා තවත් පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.

කුරුණෑගල ප්‍රදේශයේ Study Wings Consultancy (Pvt) Ltd නමින් පවත්වාගෙන ගිය ආයතනයක් මගින් ඩුබායි රාජ්‍යයේ රැකියා ලබාදීම සඳහා එක් අයෙකුගෙන් රු.760,000.00 බැගින් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට පුද්ගලයින් දෙදෙනෙකු විසින් කාර්යාංශයට පැමිණිලි කර ඇති අතර, ඒ අනුව විමර්ශන නිළධාරීන් විසින් මෙම ආයතනය වැටලීම් කර තිබේ.

කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යාම හා විදේශ රැකියා සඳහා බඳවාගැනීම යන චෝදනා 2 යටතේ අඹු සැමි යුවළක් හා ඔවුන්ගේ ඥාති සහෝදරයෙකු එහිදී විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී විදේශ ගමන් බලපත්‍ර 4ක් හා විදේශ රැකියා ලබාදීමට අදාළ වන ලේඛන රැසක් නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 2023.09.03 දින කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, නීත්‍යානුකූල නොවන අයුරින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යාමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් කාන්තාවට හා ඇයගේ ඥාති සහෝදරයා හට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2 බැගින් නියම කළ අතර, විදේශ ගමන් තහනමක්ද පනවන ලදී.

වලංගු රැකියා ඇණවුමක් ලබාගැනීමෙන් තොරව විදේශ රැකියා ලබාදීම සඳහා මුදල් අයකිරීමේ චෝදනාව මත අඹු සැමි යුවළට පැමිණිලි 2ට අදාලව එක් පැමිණිල්ලක් සඳහා රුපියල් ලක්ෂ 7 බැගින් වූ ශරීර ඇප 2ක් බැගින් හා රුපියල් 10,000.00 බැගින් මුදල් ඇප නියම කරන ලදී. වැඩිදුර නඩු විභාගය 2023 නොවැම්බර් මස 17 දින යළි කැඳවීමට නියමිතයි.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විමර්ශන අංශයේ කළමනාකරු ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස මහජනතාව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි.