සුජිත් බණ්ඩාර වෙනුවෙන් ලබාදිය හැකි සියළු වන්දි ලබාදෙනවා - ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

සුජිත් බණ්ඩාර වෙනුවෙන් ලබාදිය හැකි සියළු වන්දි ලබාදෙනවා - ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය

ඊශ්‍රායල් - හමාස් යුධ ගැටුම් හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සුජිත් බණ්ඩාර මහතා වෙනුවෙන් තම ආයතනයට ලබාදිය හැකි සියළු වන්දි මුදල් හා දීමනාවන් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

එසේම ඊශ්‍රායල් රජය විසින් යුද්ධය හේතුවෙන් මියගිය පුද්ගලයින් වෙත ලබාදීමට කටයුතු කරන සියළු වන්දි මුදල් හා දීමනාවන් සුජිත් මහතා වෙනුවෙන්ද ලබාදීම සඳහා ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය හා විදේශ කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය කටයුතු සිදුකිරීමටද කාර්යාංශය මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තිබේ.

වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වූ සුජිත් බණ්ඩාර යටවර මහතා සාත්තු සේවකයෙකු වශයෙන් සේවය කිරීම සඳහා 2018 වසරේදී ඊශ්‍රායලය වෙත පිටත්ව ගොස් ඇති අතර, ඊශ්‍රායලයේ යුධ ගැටුම් හේතුවෙන් ඒ මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය පසුගියදා තහවුරු කළේය.

ඒ අනුව ඔහුගේ දේහය අද (2023.11.09) පෙරවරුවේ දිවයිනට ගෙන්වා ගනු ලැබූ අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු නොවැම්බර් මස 11 දින වෙන්නප්පුවේදී සිදුකිරීමට නියමිතය. මියයන විට සුජිත් මහතා 48 වන වියෙහි පසුවිය.