විදෙස් ගත ලාංකිකයින්ට ඡන්ද බලය දෙන්නත් පියවර

විදෙස් ගත ලාංකිකයින්ට ඡන්ද බලය දෙන්නත් පියවර
  • විදේශගත ශ්‍රමික ළමුන්ගේ ඉල්ලීමට කන් දෙමින් නුවරඑළියට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලයක්

තමන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා වශයෙන් රාජකාරි ආරම්භ කළ මාස 18ක කාලය තුළ විදෙස් ගත ශ්‍රමිකයින් වෙනුවෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කළ බවත්, කතාවට පමණක් සීමා නොවී ප්‍රායෝගිකව එම සහන විගමණික ප්‍රජාව වෙනුවෙන් ලබාදීමට හැකිවූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යතුමා මේ බව ප්‍රකාශ කළේ (දෙසැම්බර් 18) දිනට යෙදී ඇති ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් සංවිධානය කර ඇති විශේෂ උත්සවයකට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

“අද විශේෂ දවසක්. අද රැකියා සඳහා විදේශ ගතවෙන හැම කෙනෙක්ටම ත්‍යාග පාර්සලයක් දෙනවා. ඒ වගේම කාර්යාංශයේ ලියාපදිංචිය ගන්න අයටත් ත්‍යාගයක් දෙනවා. අද මම පදනම් ආයතනයේ වැඩසටහනකට සහභාගි වුණා. එකෙදි ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් වුණා. විගමණික ශ්‍රමිකයින්ට ඡන්ද බලය ලබාදෙන්න, නුවරඑළිය දිස්ත්‍රික්කයට කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් ස්ථාපනය කරන්න ඉල්ලීම් ඉදිරිපත් වුණා. මම බොහොම ඉක්මණින් ඒ කටයුතු කරන්න පියවර ගන්නවා..

මනුෂ කයිය ගහන කෙනෙක් නෙවෙයි වැඩ කරලා පෙන්නන කෙනෙක්. කතාවට විතරක් සීමා වෙලා වැඩ කරන්නේ නෑ මම. මම මේ අමාත්‍යාංශයේ වැඩ භාරගෙන මාස 18යි. ඒ කාලය තුළ විශාල වැඩ කොටසක් කරන්න පුළුවන් වුණා. මට මේ නිළධාරීන් විශාල සහයෝගයක් ලබාදෙනවා ඒ කටයුතු කරන්න. මේ මාස 18ට ඩොලර් බිලියන 8.6ක මුදලක් විදෙස් ගත ශ්‍රමිකයින් ලංකාවට එවලා තියෙනවා. ඔවුන් නිසා තමයි මේ රට කඩා වැටුණු ආර්ථිකයෙන් ගොඩගන්න පුළුවන් වුණේ.  අද බෙහෙත්, විදුලිය, ගෑස් හා කිරිපිටි ගන්න සල්ලි තියෙනවා. රටේ ජීව නාලිය, ජීව නාඩිය වෙන්නේ විදෙස් ගත ශ්‍රමිකයින්.

රටට හුස්ම ගන්න අමාරු වුණාම විදෙස් ශ්‍රමිකයින් මතක් වුණා හැමෝටම.  2018/2019 වෙනකම් කාටවත් ඔවුන් මතක් වුනේ නෑ. කොරෝනා කාලේ මිනිස් බෝම්බ කියලා හඳුන්වා දුන්නේ. නිරෝධායන මධ්‍යස්ථාන හදලා ගුවන් යානයේ ඉඳන් මුදල් කොල්ල කෑවා. විදෙස් ශ්‍රමිකයින් Red Carpet දාලා රට යවන්න ඕනි. Red Carpet දාලා පිළිගන්න ඕනි. එහෙම අයට කිසිම සැලකිල්ලක් දක්වන්න කටයුතු කරන්නේ නෑ. ඔවුන් ගේන ඇපල් ගෙඩියට, කොරියාවේ තරුණයෙක් ගේන සෝජු බෝතලේට දඩ ගහන්න, ප්‍රශ්න දාන්න නම් ගොඩක් අය බලන් ඉන්නවා. ඩොලර් මිලියන 500 පංගු කාරයෙක් වෙන්න කිව්වා. ඒ වගේම ඔවුන් මුදල් එව්වා. දැන් වෙසක් ඉවර වුණාම සැරසිලි අයින් කරනවා වගේ ඔවුන් පැත්තකට දානවා. භාණ්ඩාගාරෙනුත් කියනවා දැන් ඩොලර් තියෙනවා දැන් ප්‍රශ්නයක් නෑ කියලා.

රටේ හැමෝම ඉල්ලුවේ system change එකක්. අපි ඒක දුන්නා. හැබැයි සමහර අය අපිට උදව් කරන්නේ නෑ. අපි වැඩ කරන්නේ නැති දේවල් ගැන කියන්න ඕනි. ෆේස්බුක් එකේ මේවා පෙන්නනකොට දානවා නිවන් සුව ලැබේවා කියලා. උඹලා නටන අන්තිම ටික කියලා. කමක් නෑ. අපිට ඕනි මිනිස්සු ප්‍රශ්නවලට මුහුණ දෙන අන්තිම කාල සීමාව මේක කරන්න. අපි පුලුවන් උපරිමයෙන් උත්සහ කරන්නේ මේ රට වැටුණු අගාදයෙන් ගොඩගන්න. අපි මෙතෙන්ට ඉබේ ආවේ නෑ. සියළු දෙනාගෙම කැපකිරීම් මධ්‍යයෙන් තමයි මේ ගමන එන්න පුළුවන් වුණේ. රටේ ඩොලර් සංචිත වලින් සියයට 30ක් ලැබෙන්නේ විදෙස් ප්‍රේෂණ වලින්. ඒක තමයි මේ රටේ ශුද්ධ විනිමය ආදායම.

විදෙස් ශ්‍රමිකයින් නියෝජනය කරමින් කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයට සාමාජිකයින් තිදෙනෙක් පත්කිරීමට කාර්යාංශ පනත සංශෝධනය කරන්නත් ඉදිරියේදී අපි අවශ්‍ය පියවර ගන්නවා.

මේ වසර අපි විදෙස් ශ්‍රමිකයින්ගේ සුභසාධනයට වෙන් කළා. අද දිනයේ විතරක් අපි මිලියන 35ක ආධාර විදේශ ශ්‍රමික ප්‍රජාවට ලබාදෙනවා. විගමණික ශ්‍රමිකයින්ගේ පවුල්වල දරුවන්ට ගරුත්වයක් දෙන්න සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් වැඩියෙන්ම අධ්‍යාපනය ලබන පාසල තෝරලා ඒ පාසලට විශේෂ උපකාර කරන වැඩපිලිවෙලක් ආරම්භ කරලා තියෙනවා.

ඒ වගේම මේ ක්ෂේත්‍රය නියාමනය කරන්න විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. විදේශ රැකියා වංචා නිසා රැකියා නියෝජිතායතන 400ක් අත්හිටුවීමට පියවර ගත්තා. ඒ වගේම තවත් 200ක බලපත්‍රය සම්පූර්ණයෙන්ම නතර කලා. කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය දවසකට වංචනික විදේශ රැකියා ආයතන 3-4 ක් වැටලීම් කරනවා. ඒ වගේම ඒජන්සි ආයතනවල ප්‍රමිතිය ඉහළ නංවන්නත් කටයුතු කළා.

ඊශ්‍රායලයේ රැකියා දෙන්න කිසිම කෙනෙක්ට මුදල් දෙන්න එපා. ලිස්ට් එකේ උඩට ගන්න ලිස්ට් එකට දාලා දෙන්න සල්ලි ඉල්ලනවා. එහෙම සල්ලි ඉල්ලනවා නම් කරුණාකරලා අපිට දැනුම් දෙන්න. අනුමත ගාස්තුවලට අමතරව අතරමැදියන්ට මුදල් දීලා තියෙනවා නම් අදාල රජයන් එක්ක කතා කරලා ඔවුන් යළි ගෙන්න ගන්න පියවර ගන්නවා. විසිට් වීසා වලින් විදේශ ගතවෙන එක නතර කරන්නත් පියවර ගත්තා. ගුවන් තොටුපොලේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළා. කවුරු මොන දේ කිව්වත් කරත් අපි විදෙස් ශ්‍රමිකයින් වෙනුවෙන් කරන කටයුතු නතර කරන්නේ නෑ. “ බාධක දැක පෙරමුණේ- මොන නදියද නැවතුණේ” කියලා තමයි කියන්න තියෙන්නේ.” යනුවෙන් පැවසුවේය.

ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහන අතරතුරදී, ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා පිටත්ව යන පළමු 30 දෙනා වෙනුවෙන් ගුවන් ටිකට්පත් හා ලේඛන පිරිනැමීමද, විදෙස් රැකියාව අවසන් කර දිවයිනට පැමිණ සාර්ථකව ව්‍යාපාරවල නියැලෙන ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇගයීමද සිදුකරන ලදී. එසේම විදෙස් රැකියාව අතරතුරදී මරණයට පත්වූ හා ආබාධිත තත්වයට පත්වූ ශ්‍රමිකයින් වෙනුවෙන් සේවක සුභසාධක අරමුදල මගින් වන්දි පිරිනැමීමද සිදුවිය. එසේම විගමණික ශ්‍රමිකයින්ගේ දරුවන් වෙනුවෙන් චිත්‍ර තරගයක් පවත්වා ඉන් ජයග්‍රහකයින් තිදෙනෙකුට පිලිවෙලින් රු.50,000.00, රු.40,000.00 හා රු.30,000.00 බැගින් මුදල් ත්‍යාග පිරිනමන ලද අතර, සහභාගි වූ සියල්ලන්ට රු.5,000.00 බැගින් ත්‍යාග පිරිනමන ලදී. එසේම විදෙස් ශ්‍රමිකයින්ගේ දරුවන් වැඩි වශයෙන් ඉගෙන ගන්නා පාසල වන ගාල්ල ඌරගස්මංහන්දිය ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යාලය වෙනුවෙන් රුපියල් මිලියනයක තූර්ය වාදක උපකරණ පිරිනැමීමද සිදුකරන ලදී. තවද, ජපානයේ ජූඩෝ තරගාවලියක් සඳහා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගි වන විදෙස් ශ්‍රමිකයෙකුගේ දියණියක වන චමෝදි විහංගි දියණිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 4.5ක මුදලක් ලබාදීමද සිදුකරන ලදී.

මෙයට සමගාමීව කාර්යාංශයේ සියළුම ප්‍රාදේශීය කාර්යාලවල, විදෙස් තානාපති කාර්යාල හා කොන්සල් කාර්යාලවල විවිධ සැමරුම් උත්සව සංවිධානය කර තිබුණි.