ඇමරිකාවේ රැකියා පෙන්වා මුදල් ගරපු තැනැත්තිය ඇතුළට

ඇමරිකාවේ රැකියා පෙන්වා මුදල් ගරපු තැනැත්තිය ඇතුළට

ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කළ කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් පසුගිය (07) දින වවුනියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සිය නැගණිය මාර්ගයෙන් ඇමරිකාවේ රැකියා ලබාදිය හැකි යැයි පවසා වවුනියාව, බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් තමන්ගෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට, ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් පසුගියදා කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. ඒ අනුව කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අදාල කාන්තාවට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණයට කරුණු වාර්තාකර නඩු පවරන ලදී.

සැකකාරියට එරෙහිව පැමිණිලි 5ක් කාර්යාංශය වෙත ලැබී ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරීන් විසින් මෙම කාන්තාවගේ නිවසට ගොස් අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. ඇයගෙන්  සිදුකළ ප්‍රශ්න කිරිමේදී ඇය දිවයිනේ ප්‍රසිද්ධ රක්ෂණ සමාගමක මැදවච්චිය ශාඛාවේ කළමනාකාරිනිය ලෙස සේවය කරන බව අනාවරණය විය.

අත්අඩංගුවට ගත් සැකකාරිය අගෝස්තු (07) දින වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ජූලි මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ අතර, සැකකාරිය බන්ධනාගාරය මගින් ජූලි මස 12 වන දින අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.