සී ෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිළධාරීන් ලෙස බඳවාගැනීමේ ජාවාරමක්

සී ෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිළධාරීන් ලෙස බඳවාගැනීමේ ජාවාරමක්
  • කිසිඳු රටක බන්ධනාගාරවල රැකියා සඳහා ලාංකිකයින් යොමුකරන්නේ නෑ...

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු රැකියා ඇණවුමක් නොමැතිව සී ෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාර නිළධාරීන් ලෙස සේවය කිරීම සඳහා තැනැත්තන් බඳවාගත් විදේශ රැකියා නියෝජිතායතනයක්  කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ දින (8/7) වැටලීම් කර තිබේ.

මීගමුව නගරයේ පවත්වාගෙන ගිය බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක් විසින් මෙම රැකියා සඳහා නීතිවිරෝධි අයුරින් බඳවාගැනීම් සිදුකර ඇති අතර, ඒ පිළිබඳව කාර්යාංශය වෙත ලද තොරතුරක් අනුව මෙම වැටලීම මෙහෙයවන ලදී. විමර්ශන නිළධාරීන් විසින් අදාල ස්ථානය පරීක්ෂා කිරීමේදී සී ෂෙල්ස් රාජ්‍යයේ බන්ධනාගාරවල සේවය කිරීම සඳහා ලබාදී තිබූ විදේශ ගමන් බලපත්‍ර 6ක් හා ඊට අදාළ අයදුම්පත්‍ර 6ක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ.

අදාළ ආයතනයේ රැකියා බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට කාර්යාංශය මේ වන විට පියවර ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් රැකියා නියෝජිතායතනයේ හිමිකරු අද දින (8/8) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විදෙස් රටවල බන්ධනාගාරවල සේවය කිරීම සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකිරීමේ වැඩපිළිවෙලක්  මෙතෙක් ක්‍රියාත්මක නොවන බැවින්, එසේ රැකියා සඳහා යොමුකරන බව පවසා මුදල් ලබාගන්නා පුද්ගලයින් සම්බන්ධයෙන් තොරතුරු දන්නේ නම් ඒ පිළිබඳව තොරතුරු ලබාදෙන මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, කාර්යාංශයේ වලංගු රැකියා බලපත්‍රයක් නොමැතිව මීගමුව ප්‍රධාන බස්නැවතුම්පොළේ පළමු මහලේ Golden High International (Pvt) Ltd නමින් වංචනික විදේශ රැකියා නියෝජිතායතනයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් අනුව විමර්ශන නිළධාරීන් විසින් ඊයේ දින (8/7) අදාළ ආයතනය වැටලීම් කරන ලදී.

එහිදි කැනඩාව, රැමේනියාව, ජර්මනිය, ඩුබායි වැනි රටවල රැකියා සඳහා පුද්ගලයින් යොමුකිරීමට ලබාගෙන තිබූ විදේශ ගමන් බලපත්‍ර 19ක්, රැකියා වීසා බලපත්‍ර, රැකියා අයදුම්පත් හා ගිවිසුම් රැසක් නිළධාරීන් භාරයට ගෙන තිබේ. එම ස්ථානයේ හිමිකරු ලෙස කටයුතු කළ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකුද විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද දින (8/8) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.