එච්.අයි.වී සමග දිවි ගෙවන්නන් රටට බරක් නොකරමු! ඉල්ලන්නෙ අහිමි කළ අයිතිය මිසක් අනුකම්පාව නෙවෙයි!

රෝගී තත්ත්වයක් හෝ යම් රෝගයකට අදාළ වෛරස් තත්ත්වයක් සමග කෙනෙකුට ජීවත්වන්නට සිදුවීම ඔහුගේ හෝ ඇයගේ තෝරා ගැනීමක් නෙවෙයි. එහෙත් රැකියාව කියන්නේ තම සුදුසුකම්, හැකියාව, නිපුණතාවන් හෝ අත්දැකීම් මත තෝරාගත හැකි ජීවනෝපායක්. තමන් කැමති රැකියාවක් කරන්නට කෙනෙකුට ඇති අයිතිය ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති මූලික අයිතියක්. එහෙත් තෝරා නොගත් රෝගී තත්ත්වයක් හෝ අහඹු වෛරස් තත්ත්වයක් නිසාම කෙනෙකුට තම මූලික අයිතියක් වන රැකියාවක් කිරීමේ අයිතිය අහිමි කරන්නට හැකිද? මේ එහෙව් මිනිසුන් ගේ චූදිතයෙක් නැති චෝදනා පත්‍රයක්.

“මං දැනට අවුරුදු අටකට උඩදි රට රස්සාවක් කරා. එහෙදි වෙච්චි අතවරයක් නිසා මට මේ නරක ලෙඩේ හැදුණා. හැබැයි මට ආදරය කරපු මනුස්සයා මාව දාල ගියේ නෑ. අපි බැඳලා ටික දවසක් හොඳින් හිටියා. පස්සෙ කාලෙක එයාටත් ලෙඩේ හැදුණා. අපිට පොඩි ගෑනු ළමයෙක් ඉන්නවා. දෙයියන්ගෙ පිහිටෙන් එයාට ලෙඩෙි හැදුණෙ නෑ. එයා වියදමට මුදල් හදල් නැති නිසා ඉස්කෝලෙ යන්න අදිමදි කරනවා. මනුස්සයට මට වඩා අසනීපයි. ඒ නිසා වැඩක් පළක් කරන්න බෑ. මට එහෙම නෑ. මං ගෙවල් වල වැඩ කරලා කීයක් හරි හොයාගෙන ඒකෙන් තමයි කොහොම හරි ජීවිතේ ගැට ගහගන්නෙ. ඒත් මං ලෙඩේ හැදිලා කියලා දැනගත්තම කවුරුවත් මාව ගෙවල්වලට වැද්ද ගන්නෙ නෑ. ටික දවසක් යද්දි ගමේ ඉන්නත් බැරිවුණා. ඒ නිසා ඒ ගෙවල් දොරවල් විකුණලා දාලා මෙහෙ පොඩි තැනක් අරන් ඉන්නවා. මෙහේ කුලී වැඩක් කරලා ළමයගෙ වියදම් ටික වත් බලා කියා ගන්න බෑ. ඒ නිසාම ආයෙම කොහේ හරි රටකට යන්න පුළුවන්ද කියලයි මං බලන්නෙ. ඒත් මැදපෙරදිග නම් ගන්නෙ නෑ. මට කරදර වෙච්චි පැත්ත පළාතකට වත් මං යන්න කල්පනා කරන්නෙත් නෑ. ඒත් වෙනත් රටවලට මේ ලෙඩේ ප්‍රශ්නයක් නෑ කියලා කියනවා. බෙහෙත් ගන්න නිසා බෝවෙන්නෙ නෑ කියලත් කියනවා. ඕව ගැන හරියටම දන්නෙ නෑ මහත්තයෝ..මේ නරා වළෙන් ගොඩ එන්න විදිහක් නෑ. උඩ ඉන්න දෙයියන්ට මිසක් වෙන කියන්න කෙනෙකුත් නෑ“

ඒඩිස් සමග ජීවත්වන එක් දරු මවක වන තිස් හැවිරිදි ශාන්තිලතා පවසනවා. ළිඳට වැටුණු කෙනා ළිං කටින්ම ගොඩ ආ යුුතු යයි පවත්නා ගැමි කියමන සිහිපත් කරමින් ඇය යළිත් විදේශගතව රැකියාවක් කරන්නට අපේක්ෂා කරනවා.

එහෙත් එය යථාර්ථයක් කරගත හැකිද? ඒ අයුරින්ම සිහින දකින තවත් පුද්ගලයෙක් මේ. අපි ඔහුව, ජයශංක නමින් හඳුන්වමු. හෙතෙම මීගමුවට නුදුරුව පුද්ගලික ආයතනයක කාර්මික ශිල්පියෙක්.

“මං අවුරුදු නවයක් තිස්සේ රට යන්න ට්‍රයි කරනවා. හොරුන්ට සල්ලි දීලා යන්න හදලා දෙතුන් පාරක් අනාථ වුණා. ඉතාලි යන්න ට්‍රයි කළා. ඒ එහේ කෙනෙක්  මැරි කරන ක්‍රමවේදේ හරහා. ඒකට ලක්ෂ 8ක් විතර අතින් වියදම් කළා. ඊට පස්සෙ ගාල්ලෙ කෙනෙකුට ලක්ෂ 2ක් දාලා සෑහෙන කාලයක් බලාගෙන හිටියා. අන්තිමට ජොබ් එක නෑ.  ලක්ෂයක් විතරයි  රිටර්න් හම්බවුණේ. ඉතිරි ටික තාම නෑ. අපි වගේ අසරණ මිනිස්සුන්ට යන්න හරි හැටි  මාර්ගයක් නැති නිසා  නීත්‍යනුකූල නොවන විදිහට යන්න ගිහින් සමහරු ගොඩ යනවා. අපි වගේ වෙලාව හොඳ නැති උන් චාටර් කාල, කාල, අමාරුවෙන් හොයා ගත්තු තුට්ටු දෙකත් ජාවාරම්කාරයින්ට දීලා උඩ බලාගෙන ඉන්නවා“

එච්.අයි.වී ආසාදිත පුද්ගලයින්ට, එසේත් නොමැතිනම් ඒඩ්ස් සමග ජීවත් වන අයට විදෙස් රැකියා සඳහා යාමට නොහැකි බවට තහනමක් පවතීද? සැබවින්ම බාධාව පවතින්නේ කොතැනද? ජයශංක ඒ ගැන තවදුරටත් කීවේ මෙහෙමයි.

“යන්න පුළුවන් අයියෙ. ඒ කාලෙ වගේ නෙවෙයි දැන් කාලෙ දියුණුයි. ඒත් අපේ මිනිස්සු නොදියුණුයි. ඒකයි තියෙන ප්‍රශ්නය“ හෙතෙම චෝදනා කරනවා.

“මට ටිකක් පැහැදිලි මදි?“ මං ඔහුගෙන් ඇහුවේ ඇත්තටම ඔහු කියූ දේ මට නොවැටහුණු හින්දයි.

“දෙදාහ අවුරුද්දට විතර කලින් තමයි ඒඩ්ස් රෝගීන්ව පැත්තකට දාලා තිබ්බෙ. ලංකාවෙ තාමත් එහෙම වුණාට ලෝකෙ එහෙම නෑ. හරියට වෙලාවට බෙහෙත් ටික ගන්නව නම්, ටෙස්ටිං හරියට කරනව නම් සෙක්ස් කරත් මේ ලෙඩේ බෝවෙන්නෙ නෑ කියලා වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වෙලා තියෙනවා. ලෝකයේ දියුණු රටවල ඒඩ්ස් එක්ක ජීවත් වෙන අයට රැකියා කරන්න ලැබෙනවා. අපේ ඒජන්සි කාරයෝ තමයි අපිව සත්තු ගාණට දාල තියෙන්නෙ. මං දෙහිවල ප්‍රසිද්ධ ඒජන්සියකට කතා කළා. මේ රස්සාවට ලෝකෙ කොහෙත් ඉල්ලුම තියෙනවා. එන්න මාසෙන් යවන්නම් කීවා. දෙවනුවට මං එච්.අයි.වී පොසිටිව් කීවම බෑ කීවා. රාගම ඒජන්සියකට කතා කළා.එතනත් එහෙමයි. ඒත් හොර පාරෙන් නෙවෙයි, හරි පාරෙන්ම රට ගිහින් රස්සා කරන මගේ යාළුවෝ ඉන්නවා. “ ජයශංක කියන්නේ දැනට රුමේනියාවෙ කර්මාන්ත ශාලාවක සේවය කරන යහළුවෙක් ගැනයි. ජයශංකගේම දැන හැඳුනුම්කම ඔස්සේ වට්ස්අප් ඇමතුමක් මගින් ඔහු සම්බන්ධ කර ගැනීමට අපට හැකිවුණා. ඔහු කියන්නේ මෙවැන්නක්.

“මෙහේ එච්.අයි.වී එක්ක ඉන්න විදේශිකයින්ට රැකියා කරන්න රාජ්‍ය ප්‍රතිපත්තියක් විදිහට බාධාවක් නෑ. ඒ අය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පිළිගන්නවා. ඒත් අපි වැඩකරන්නෙ පුද්ගලික ආයතනවලටනේ. ඉතිං සමහර ආයතන අපි වගේ අය පිළිනොගන්න අවස්ථා තියෙනවා. රුමේනියානු රජය ඒ වගේ අවස්ථාවල මැදිහත් වෙන්නෙ නෑ. මං මෙහෙට එන්නේ මෙහේ වැඩකරමින් හිටපු සෝෂල් මීඩිය හරහා හඳුනාගත් යාළුවෙක් මාර්ගයෙන්. වර්ක් පර්මිට් එක ගෙන්වගෙන, ඒක අරන් ක්ලිනික් ගිහින් මෙඩිකල් රිපොට් ගත්තා. විදෙස් ගත වෙන්න කීවම මාස 6ට ඇති වෙන්න බෙහෙතුත් දුන්නා. ඒජන්සියට සියලුම ඩොකියුමන්ට්ස් දුන්නා. මං හරි පාරෙම රුමෙිනියාවට ආවා. ඒ මෙඩිකල් රිපොට් මෙහෙන් බලලා, දැන් මං මාස හයෙන් හයට මෙහෙ ටෙස්ටිං කරලා බෙහෙත් ටික ගන්නවා. වැඩපොළේවත්, නවාතැන්පොළවලවත් කිසිම ගැටලුවක් නෑ. පාඩුවෙ රස්සාව කරගෙන මාසෙ අන්තිමට ගෙදරටත් කීයක් හරි එවනවා“

රටේ අධ්‍යාපනය, සෞඛ්‍ය ක්ෂේත්‍ර යේ අත්‍යවශ්‍ය ඖෂධ, ගමනාගමනය හා ඉන්ධන, මෙවැනි එදිනෙදා සේවාවන් සියල්ලම පාහේ චක්‍රයක ස්වරූපයෙන් ක්‍රියාකරන්නේ මේ අයුරින් විදෙස් ගත ශ්‍රමිකයින් එවන පවුල් ප්‍රේෂණ නිසාය. දැවැන්ත ආර්ථික යන්ත්‍රයක ප්‍රමුඛතම දැති රෝදය වන පවුල් ප්‍රේෂණ සම්බන්ධයෙන් මහබැංකු දත්ත පෙන්වා දෙන්නේ මෙවැනි චිත්‍රයක්. 2023 වසරේ රටට ලැබුණු පවුල් ප්‍රේෂණ වල වටිනාකම අ.ඩො.මිලියන 5969.6ක්. 2024 වසරේ පළමු කර්තුව තුළ පමණක් අ.ඩො.මිලියන 1536.1ක්.  රටේ ආර්ථිකයට මෙහෙව් දායකත්වයක් දක්වන විදෙස්ගත ශ්‍රමිකයින් ‘රට විරුවන්‘ ලෙස හඳුන්වමින්, මැතිවරණ ඉලක්ක කරගත් ‘ජයගමු ශ්‍රී ලංකා‘ වැනි විදෙස්ගත ශ්‍රමිකයින්ගේ පවුල්වලට හාල් පොල් හෝ මහන මැෂින් බෙදීමේ වැඩසටහනින් ඔබ්බට ගොස් තවදුරටත් රටේ ආර්ථිකයට ශක්තියක් ලබාදීමට හැකි මෙන්ම තවත් විටෙක අසරණවූවන්ට තම පවුලේ ජීවිත ගැටගසා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පියවරක් ගැනීමට කටයුතු කරන්නේ නම් කෙතරම් එච්.අයි.වී සමග දිවි ගෙවන්නන්ගේ ජීවිතය කෙතරම් ආලෝකමත් වෙයිද?

ඇත්තටම ගැටලුව ඇත්තේ කොතැනද?

‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලය (VOM) නියෝජනය කරන ලංකා ප්ලස් සංවිධානයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු වන නිරෝෂන් සේනාධීර පවසන්නේ මෙවැන්නකි.

“එච්.අයි.වී එක්ක සිටින කෙනෙකුට මැදපෙරදිග රටවලට යන්න බෑ. දැනටමත් ඒ රටේ රස්සාවක් කරගෙන ඉන්න කෙනෙකු වුණත්, පොසිටිව් කියලා තහවුරු වුණොත් පැය 24ක් ඇතුළත රටින් පිටමං කරවනවා. ඒක එයාලගෙ නීතිය. හැබැයි ලෝකයේ දියුණු රටවල් එහෙම නෑ. රුමේනියා, කැනඩා වගේ රටවල්, විශේෂයෙන්ම යුරෝපා රටවල් මෙවැනි සංක්‍රමණිකයින් පවා තමන්ගෙ රටේ ජොබ් වලට ගන්නවා. හැබැයි ඒ රටවල පුරප්පාඩු හෝ රැකියා පිළිබඳ තොරතුරු මෙහේ රැකියා ඒජන්සිකාරයින් දෙන්නෙ නෑ. එයාලා මේ අය යවන්නෙ නෑ. මෙඩිකල් රිපොට් එක ආව ගමන් එතැනින් එහාට වැඩේ යන්නෙ නෑ.  හැම රටකටම බැරි වෙයි. ඒත් බාධාවක් නැති රටවලට වත් යවන්න මෙයාලා කල්පනා කරන්නෙ නෑ.“

‘සංක්‍රමණිකයින්ගේ හඬ ජාලය (VOM) නියෝජනය කරන හාර්ට් ටු හාර්ට් සංවිධානයේ මෙහෙයුම් කළමනාකාර මංජුල හේමාල් ද, එම අදහස අනුමත කරනවා.

“ඇත්තටම දියුණු රටවල ඒ්ඩිස් සමග ජීවත්වන අය පවා රැකබලා ගන්න කෙයාර් ටේකර්ලා හැටියට මේ වගේ අයට ඉඩකඩ ලැබෙනවා. පුද්ගලික සම්බන්ධතා එක්ක අහඹු ලෙස යන එක නෙවෙයි වැඩේ. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් යන්න වගේම වැඩකරගෙන යන අතරේ ඇතිවන ගැටලුවලටත් පිළියමක් විදිහට ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි. “ ඔහු පෙන්වා දෙනවා.

මීට ටික කලකට ඉහතදී ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒක්ව තෝරා ගත් සිවිල් සමාජ සංවිධාන කිහිපයකද, සහය ඇතිව ‘සංක්‍රමණික ශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක්’ සකස් කරන බව කියමින් යෝජනා ලබා ගත් බවත්, එහිදීද, තමන් එච්.අයි.වී සමග ජීවත්වන විදෙස් ගතවන්නට අපේක්ෂා කරන පිරිස් වෙනුවෙන් හා සංක්‍රාන්තික ස්ත්‍රී-පුරුෂ සමාජභාවී පිරිස් වෙනුවෙන් යෝජනා ඉදිරිපත් කළ බවත්, ලංකා ප්ලස් හා හාර්ට් ටු හාර්ට් සංවිධාන කියා සිටිනවා. ඒහෙත් එකී ‘ජාතික ප්‍රතිපත්තිය’ ප්‍රකාශයට පත්වී, ඒ සඳහා ක්‍රියාකාරී සැලැස්මක් වෙනුවෙන්ද, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ජාත්‍යන්තර සංක්‍රමණිකයින්ගේ සංවිධානය ඇතුළු සිවිල් සංවිධාන ගණනාවක් එක්ව කොළඹ දින 3ක ප්‍රගති සමාලෝචනයක් සිදුවුණද, මෙම ගැටලුවට විසඳුමක් ඔවුන්ගේ පොදු ප්‍රකාශනය තුළ දක්නට ලැබෙන්නේ නෑ.

එහෙත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ පිළිබඳ වගකීමක් නැතිද? එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු කියා සිටියේ මෙවැනි අදහසක්.

“එච්.අයි.වී පොසිටිව් අයට රටවලට ඇතුළු වෙන්න දෙන්නෙ නෑ. ජොබ් ඒකකට යනව නම් මෙඩිකල් ඔ්න වෙනවා. ඒක තීරණය වෙන්නෙ මෙඩිකල් එකේ රික්වයර්මන්ට් එක අනුව. ඒ්ක පැත්තක තියන්නකෝ. ක්ෂය රෝගය (Tuberculosis) සම්බන්ධයෙන් අපේ රටට වඩා තියුණු විදිහට සෞදියේ පරීක්ෂා කරනවා. අපට ඇත්තටම ඒ් තරම් සියුම් විදිහේ පරීක්ෂාවන්ට වෛද්‍ය උපකරණ හෝ රසායනාගාර පහසුකම් නෑ. ඉතිං මෙහෙන් ටීබී නෙගටිව් කියලා යන අය එහෙදි පොසිටිව් වෙලා ආපහු හරවලා එවන අවස්ථා තියෙනවා. එච්.අයි.වී වුණත් එහෙමයි. මෙහෙන් යැව්වට එහෙදි ප්‍රතික්ෂේප වෙනවා. ඉතිං ඒ් අවදානම ගන්න ඒ්ජන්සිවල අය කැමති නෑ. වෙනත් නීතිමය බාධාවක් නෑ. කොහොමත් සංචාරක වීසා වලින්, බිස්නස් වීසා වලින් ගිහින් එන්න මෙඩිකල් බලන්නෙ නෑනෙ. රැකියාවකට යද්දි අනිවාර්ය යෙන් තදින් බලනවා. ඉතිං ඒ්කට අපට කරන්න දෙයක් නෑ”

සැබවින්ම එච්.අයි.වී වෛරසය ඇති අයට රැකියාවක් කරන්නට තම රෝගී තත්ත්වය බාධාවක්ද? එය අප කුඩා කල අසා දැනගත් අයුරින්ම වහා බෝවනසුලුද? ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒ්ඩ්ස් මර්දන වැඩසටහනේ, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනූ ධර්මකුලසිංහ මහත්මිය මෙහෙම කියනවා.

“රෝගියාගේ වෛරස් ප්‍රමාණය හොඳින් පාලනය වෙලා නම්, එහෙමත් නැතිනම්  නොගැනිය හැකි තරමට කුඩා නම් (undetectable) ඔහු හෝ ඇය ප්‍රති වෛරස් ඖෂධ නිසි ලෙස අරගන්නව නම්, ඒ් පුද්ගලයාගෙන් තවත් පුද්ගලයෙකුට එම වෛරස් ලිංගිකව සම්ප්‍රේෂණය වෙන්නෙ නෑ. මේක අපි කියන දෙයක් නෙවෙයි, එච්.පී.ටී.එන් 052 කියලා ලෝකයේ ගොඩක් රටවල් එකතු වෙලා කරපු දැවැන්ත අධ්‍යයනයකින් වගේම තවත් අධ්‍යයන වාර්තා ගණනාවක් පදනම් කරගෙන හොයා ගත්තු ඇත්තක්.  රුධිරය මිලි ලීටරයක වෛරස් එක කොච්චර කොපි ගාණක් තියෙනවද කියලා අපි පරීක්ෂා කරනවා.   ඒ් වගේම අතුරු ආබාධ ඇත්දැයි පරීක්ෂා කරනවා. උදාහරණයක් විදිහට වකුගඩු ක්‍රියාකාරිත්වය, අක්මාවෙ ක්‍රියාකාරිත්වය, අස්ථි වලට යම් බලපෑමක් තියෙනවද කියලා බලනවා. ෆුල් බ්ලඩ් කවුන්ට් ඒකක් කරලා රුධිරයේ වෙනත් අසමතුලිතභාවයක් තියෙද කියලා මොනිටර් කරනවා. මොකද සමහර වෙලාට කොලෙස්ට්‍රොල් හෝ රුධිරයේ සීනි මට්ටම වැඩි වෙන්න පුළුවන්. ඒ් දේවල් බලලා රට ගියත් නැතත් ඔ්නම කෙනෙකුට මාස 6ට ඖෂධ නිකුත් කිරීමේ හැකියාව තියෙනවා. විදෙස් ගතව රැකියා කරන්න යන අය ගැන කියනව නම් විවිධ රටවල වීසා රෙගුලාසි වෙනස්. ඊළඟට අයදුම් කරන වීසා එක අනුව රෙගුලාසි වෙනස්. සමහර වෘත්තීන්ට එච්.අයි.වී පරීක්ෂණය අදාළම නෑ. ඒ්ත් සමහර වෘත්තීන් වලට යද්දි මේක අත්‍යවශ්‍ය වෙනවා. එහෙම යන්න අපේක්ෂා කරන රෝගීන් අපට ඒ් ගැන කීවම අපි ඒ් අය සායනිකව ස්ථාවරද කියලා බලනවා. ඊට පස්සෙ එයාගෙ වෛරස් ප්‍රමාණය ඉතා අවම මට්ටමකද තියෙන්නෙ කියන එක බලනවා. ඒ්කත් ගැටලුවක් නැතිනම් අනෙකුත් පැරා මීටර්ස් පරීක්ෂා කරනවා. ඒ් කියන්නේ ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් බලනවා. වකුගඩු, අක්මාව,පෙණහලු ආදිය බලනවා. ඒ් සියල්ල හොඳින් නම් අපි රෝගියාගෙ රෝග තත්වයෙ ආරම්භය, කළ පරීක්ෂාවන්, ගත්තු ප්‍රතිකාර, දැන් පවතින තත්ත්වය ආදී සියල්ල අන්තර්ගත කරමින් වාර්තාවක් දෙනවා. ඒ් වාර්තාව අදාළ රටේ සෞඛ්‍ය සේවා නිලධාරියාට දුන්නම එහෙදි වැඩිදුර ප්‍රතිකාර ගන්න ඒ්ක ප්‍රමාණවත්. “

නීතිමය බාධාවකුත් නැතිනම්, රෝගී තත්ත්වය බෝවීමේ අවදානමකුත් නැතිනම්, යුරෝපීය රටවල ඉල්ලුමකුත් ඇත් නම් ,  තමන් කැමති රැකියාවක් ලෙස එවැනි රටක රැකියාවක් අපේක්ෂා කරන එච්.අයි.වී සමග ජීවත්වන අයෙකුට ඒ සඳහා අවස්ථාව ලබා නොදෙන්නේ ඇයි? කඩවත නගරයේ ප්‍රසිද්ධ විදේශ රැකියා නියෝජිත ආයතනයක කළමනාකරුවෙකු වන සුජිත් යාපා මහතා පළ කරන්නේ මෙහෙව් අදහසක්.

“මේ ඒ්ජන්සිකාරයින්ගෙ සංගමය දෙතුන් දෙනෙක් හැරෙන්නට කවුරුවත් යුරෝපීය රටවලට කට්ටිය යවන්නෙ නෑ. මැදපෙරදිග තමා මේ හැමෝගෙම ඉලක්කය. මොකද ඒ්වායින් තමා ගාණ හම්බ වෙන්නෙ. ඊට අමතරව ඊශ්‍රායල්, සයිප්‍රස්, සිංගප්පූරුව. කැනඩා, රුමේනියා වගේ රටවල් දෙක තුනකට ඒ්ජන්සි 3-4ක් තියෙනවා. යුරෝපීයන් රටවල් බොහොමයක බියුරෝ නිලධාරියෙක් නෑ. රුමේනියා වලත් නෑ. ලෝකල් ඒ්ජන්ට් කෙනෙක් විදෙස් ඒ්ජන්ට් කෙනෙක් හරහා  ජොබ් ඔ්ඩර් ඒකක් ගන්නවා. ඒ් ඔ්ඩර් එකට එහේ තියෙන තානාපති කාර්යාලයේ සිටින බියුරෝ නිලධාරියා අනුමැතිය දෙන්න ඔ්න. ඒ් අනුමැතිය ලැබුණම තමා ප්‍රොසෙස් වෙන්න පටන් ගන්නෙ.ඔය ගොඩක් යුරෝපා රටවල තානාපති කාර්යාල නෑ. තිබුණත් ඒවායෙ බියුරෝ නිලධාරියෙක් නෑ. එතකොට ඔ්ඩර් එන්නෙ නෑ. ඒ් නිසා ඒ් වගේ රටවල ගොඩක් ජොබ් ඔ්ඩර් යන්නෙ අප්‍රිකානු රටවලට. නැතිනම් ඉන්දියාවට..“

සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් චෝදනා කරන ඒජන්සි හිමිකරුවන් පළ කරන මෙම අදහසද, නොතකා හරින්නට අපට හැකියාවක් නෑ. විදේශ රැකියා නියෝජිතායතන සංගමයේ සභාපති එම්. ෆාරුස් මරික්කාර් ට කන්දෙමු.

“එච්.අයි.වී තිබීම හෝ නොතිබීම අපට ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් ඒ විදෙස් රටවල නියෝජිතයො ඉල්ලන මාර්ගෝපදේශ වලට අනුව තමා අපට මෙඩිකල් එක දෙන්න වෙන්නෙ. ශ්‍රමිකයින් අපේ වුණාට වීසා එක එයාලගෙ. උදාහරණයක් විදිහට කටාර් හැර මැදපෙරදිග රටවලට මෙඩිකල් ගන්නෙ එයාලා නම් කරපු ලංකාවෙ මෙඩිකල් සෙන්ටර් 15න් විතරයි. කටාර් වලට වෙනම එකක් තියෙනවා. ඉතිං එයාලා ඉල්ලන මාර්ගෝපදේශවලට අනුව එයාලා නම් කරන මෙඩිකල් සෙන්ටර් වලින් මිසක් වෙනත් මෙඩිකල් තානාපති කාර්යාල බාරගන්නෙ නෑ. ඒ මෙඩිකල් සෙන්ටර් එච්.අයි.වී තියෙන අයගෙ මෙඩිකල් නිකුත් කරද්දී රිමාර්ක් තීරුවෙ ඒක සටහන් කරනවා. එතකොට එහෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒකට අපට කරන්න දෙයක් නෑ. යුරෝපාවල වුණත් ආයතන ඉල්ලන්නෙ නෑ. අසනීප අය ගෙන්වගෙන රටට බරක් කරගන්න ඒ අය කැමති වෙයිද? එහෙම ඉල්ලනව නම් ඉතිං එයාලට කෙලින්ම යන්න පුළුවන්. අපේ වගක් ඕනම නෑනේ. අනික ඇත්තටම අපි උත්සාහ කරන්න ඕන එච්.අයි.වී මේ රටින් තුරන් කරන්න මිසක් එහෙම තියෙන අය තවත් රටවලට යවන්න නෙවෙයි“

කවුරුන් කෙසේ කීවද, සැබවින්ම රටේ පුරවැසියන් පිරිසකගේ මූලික මිනිස් අයිතියක් උල්ලංඝණය වී ඇති බව පැහැදිලියි. ඒත් ඊට පැහැදිලි වගකිවයුත්තෙක් නැති තරමට ගැටලුව සංකීර්ණයි. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ‘මැතිවරණ ප්‍රකාශයන්හි ඇතුළත්විය යුතු කරුණු පිළිබඳ දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කරන ප්‍රශ්නාවලිය‘ අවසන් ප්‍රකාශනය සංස්කරණය කරද්දී, මෙම ලියුම්කරු විසින් සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ ගැටලු ගැන මතුකරමින් මෙම ගැටලුව සභාව හමුවේ තබන ලදී. අපගේ යෝජනාප්‍රකාරව සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීම, පවුල් ප්‍රේෂණ විධිමත් ලෙස කළමනාකරණය කිරීම, ආදී කරුණු ඊට ඇතුළත් වුවද, කුමක් හෝ හේතුවකට එච්.අයි.වී සමග දිවිගෙවන සංක්‍රමණිකයින් හෝ සංක්‍රමණයවීමට බලාපොරොත්තු වන අයගේ ගැටලු ගැන එකී ප්‍රකාශනයේ පවා කරුණක් ඇතුළත් වුණේ නෑ.  පුද්ගලික විසඳුම් වෙනුවට රාජ්‍ය තාන්ත්‍රිකව මැදිහත් විය යුතු වැඩපිළිවෙළක් රටකට අවශ්‍ය වන්නේ ඒකයි. එළඹෙන තීරණාත්මක ජනාධිපතිවරණයේදී හෝ රටේ පාලකයා බවට පත්වන්නට සැරසෙන සියල්ලන් හමුවේ මෙම ගැටලුව විවෘතව තැබිය යුත්තේද, ඒ නිසාමයි.

(විශේෂ ස්තූතිය - Internews ආයතනය)

migrant2

-ප්‍රියාන් ආර් විජේබණ්ඩාර